තමන්ගේ පෙනුම මනාවට පවත්වාගන්න ඕනෑම තරුණයෙක් හෝ තරුණියක් කැමති දෙයක්. ඒ සඳහා ව්‍යායාම වල නිරත වන උදවිය එමටයි.

තමන්ගේ පෙනුම හොඳින් තබාගන්න අවදානම් අවස්ථාවලට මුහුණ දෙන අයද නැතුවාම නොවේ.

තරුණ තරුණියන් අතර බොහෝ වශයෙන් සුලභ දෙයක් තමයි කායවර්ධන ව්‍යායාම වල යෙදීම.

HealthDay News වාර්තාවකට අනුව තරුණයන්ගෙන් 22% ක් හා තරුණියන්ගෙන් 5% ක් තම ශරීරය වර්ධනය කිරීම සඳහා භයානක ක්‍රම අනුගමනය කරනවා. ඔවුන් අසාමාන්‍ය ආහාර රටාවලට පුරුදු වී ඇති බවත්, ස්ටෙරොයිඩ භාවිතා කරන බවත් පෙනීගොස් ඇත.

අක්‍රමවත් ආහාර රටා තරුණ පරම්පරා අතර සාමාන්‍යය දෙයක් බවට පත් වී ඇති බව මව්පියන් හා තරුණ තරුණියන් දැනගත යුතු බව කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ජේසන් නගටා මහතා පවසයි.

බොහෝ තරුණයන් පෙළඹී තිබෙන්නේ සුපිරි වීර චරිත වලට සමානව තම ශරීර වර්ධනය කිරීමටයි. එසේම සමාජ ජාලා වෙබ් අඩවි හරහා කායවර්ධන රූප ප්‍රචලිත වෙනවා.

වාර්තා වලට අනුව බොහෝ නව යෞවනයන් ස්ටෙරොයිඩ භාවිතා කරනවා. වෛද්‍ය නගටා පෙන්වාදෙන අන්දමට ස්ටෙරොයිඩ භාවිතා කිරීමෙන් දිගුකාලීන වගේම කෙටිකාලීන අතුරු ආබාධ වලට ලක් වීමට සිදුවෙනවා. තවදුරටත් ඔහු පැවසූයේ දිගුකාලීනව භාවිතා කරන ස්ටෙරොයිඩ මගින් හෘදයාබාධ ඇතිවීමේ අවදානමක් තිබෙන බවත් කෙටිකාලීනව ස්ටෙරොයිඩ භාවිතාකිරීමේදී කලහකාරී ස්වභාවයක් පෙන්නුම් කල හැකි බවයි.

කායවර්ධනය කිරීමට භාවිතාකරන අතිරේකයන් වගේම, ස්ටෙරොයිඩ පාලනයක් ඇතිව භාවිතා කිරීම සහ තමාගේ සෞඛ්‍යය ගැන කල්පනාකාරීව සිටීම අතිශය වැදගත්.

මනෝචිකිත්සක වෛද්‍ය ඇලන් ගෙලර් පවසන අන්දමට, තම දරුවන් ආහරයට ගන්නා දේවල් සම්බන්ධයෙන් තම දරුවන් සමඟ මනා සන්නිවේදනයක් පවත්වාගත යුතුයි.

එමෙන්ම, කායවර්ධන පුහුණුකරුවන් මෙන්ම ගුරුවරුන් තරුණ තරුණියන්ට මේ සම්බන්ධයෙන්  උපදෙස් ලබා දීම වැදගත්.

(WebMD ඇසුරිනි)