වර්තමාන සමාජයේ මේ වන විට යහපත් ‘මානසික සෞඛ්‍ය‍යක්’ පවත්වා ගැනීමේ වැදගත්කම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇත.

යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමටනම් එහි එක් සාධකයක් වන මානසික සෞඛ්‍යය ඉහළ මට්ටමක පවත්වාගත යුතුය.

යහපත් මානසික සෞඛ්‍යයක් යන්නෙන් අදහස් කරන්නේ මානසික රෝග රෝගවලින් තොරවීම පමණක් නොව තමාගේ හැකියාවන් නියම ලෙස හඳුනා ගනිමින්,එදිනෙදා ජීවිතයේදී මුහුණ දීමට සිදු වන ආතතීන් හඳුනාගෙන ඒවා පාලනය කරමින් ප්‍රයෝජනවත් හා ඵලදායි ලෙස සමාජයට සේවය කරමින් ජීවත්වීමයි.

 මේ වන විට සොයාගෙන ඇති පරිදි ලොව වටා ළමයින් සහ යොවුන් පිරිස ගෙන් සියයට විස්සකට මානසික ප්‍රශ්න හෝ මානසික ආබාධ ඇත .එලෙසම ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වසරකට ලොවපුරා ලක්ශ 8කට ආසන්න පිරිසක් මානසික සෞඛ්‍යය නිසි පරිදි පවත්වා ගැනීමට නොහැකි නිසා සිය දිවි හානි කර ගනී.එම නිසා අපගේ මෙන් ම අප අවට සිටින අයගේ පවා මානසික සෞඛ්‍යයක් සම්බන්ධයෙන් අප සැලකිලිමත් විය යුතු වේ.

  • යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වා ගැනීම නිසා ඔබට මානසික රෝග වලින් තොර වීමට මෙන් ම සතුටින් ජීවිතය විඳිමට
  • ආත්ම විශ්වාසය සහ ආත්මාභිමානය වර්ධනය කර ගැනීමට
  •  හොඳ නින්දක් ලබාගැනීමට
  • හැඟීම් හොඳින් පාලනය කර ගැනීමට
  •  සමාජ සම්බන්ධතා වැඩි කරගැනීමට
  • තම නිර්මාණශීලිත්වය වැඩිකර ගැනීමට
  • අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි කායික රෝග සෑදීමේ අවදානම අඩු කර ගැනීමට
  • අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට

ආදී වූ එද්නෙදා ජීවිතය සුව සේ ගෙවීමට අවශ්‍ය හැකියාව ලැබේ. ඔබට යහපත් මානසික සෞඛ්‍යයක් නොමැති වූ විට කුඩා කාලයේ සිට වැඩිහිටි කාලය දක්වා ඕනෑම වයස් කාණ්ඩයකදී මානසික රෝග ඇතිවීමේ හැකියාවක් ඇත.මේ සදහා සමාජ-ආර්ථික,ජීව විද්‍යාත්මක සහ පරිසර සාධක බලපානු ලබයි.

තමන් මුහුණ දෙන හෝ දකින ප්‍රචණ්ඩකාරී ක්‍රියා,දීර්ඝ කාලයක් පවතින සමාජ ආර්ථික පීඩනය මානසික රෝග ඇතිවීමට පිණිස බලපාන හඳුනාගත් අවදානම් සහිත වේ.ලිංගික ප්‍රචණ්ඩකාරී ක්‍රියා මානසික රෝග ඇති වීම සඳහා බලපාන පැහැදිලි සාධකයකි.එලෙසම ඉක්මන් සමාජ වෙනස්කම් ,පීඩනය අධික ක්‍රියාකාරකම්, සෞඛ්යමත් නොවන ජීවන රටාව, කායික රෝග,සමාජයෙන් කොන් කිරීම වැනි හේතු නිසා මානසික රෝග සෑදීමේ අවදානම වැඩිවේ.

අනවධාන-අධි ක්‍රියාශීලී අක්‍රමිකතාව (Attention deficit hyper activity disorder), මනෝ වික්ෂිප්ත භාවය ( Autism ),ඉගෙනුම් ආබාධ (Learning disorders) ආදිය ලමා කාලයේදී හදුනා ගත හැකි අතර විභාන්තිය (Delirium) , චිත්ත වික්ෂේපය (Dementia) වැනි රෝග වැඩිහිටි අවධියේ දී හදුනා ගත හැක.

ඊට අමතරව භින්නෝන්මාදය ( Schizophrenia) , ග්‍රස්තිය, ද්වි ඩ්‍රැව අක්‍රමකතාව (Bipolar affective disorder) ,පෞරුෂ ආබාධ ( Personality disorders) , ආහාර ගැනීම සම්බන්ධයෙන් වූ ආබාධ ( Eating disorders) ,මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් වූ ආබාධ ( Substance abuse disorders ), සියදිවි නසාගැනීමේ උත්සාහ සහ තමන්ටම පීඩා කර ගැනීම ( Suicide and self harm) ආදී වූ මානසික රෝග බහුලව සමාජයේ දක්නට ඇත.

ඔබට,ඔබේ දරුවාට, ඔබේ ඥාතියකුට හෝ අසල්වාසීයකුට අසාමාන්‍ය සිතුවිලි, අසාමාන්‍ය හැඟීම්,අසාමාන්‍ය චර්යා රටාවන් ඇති වීම, සියදිවි නසාගැනීමේ උත්සාහයන් හෝ තමන්ටම හානිකර ගැනීමේ උත්සාහයන් වල නිරත වේ නම් සහ ඒවා තම එදිනෙදා ජීවිතයේ ක්‍රියාකාරකම් වලට බාධා එල්ල කරයි නම් ඔහුට හෝ ඇයට මානසික ආබාධයක් තිබිය හැක.එවැනි තත්ත්වයක් මතුවූ විට හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම කල යුතුය.

එහෙත් වර්තමාන සමාජයේ මානසික රෝග සහිත පුද්ගලයන් සහ පවුල් අපකීර්තියට පත් කිරිම සහ වෙනස් කොට සැලකීම හේතු කොටගෙන වෛද්‍ය උපදෙස් ලබා ගැනීම බොහෝ දෙනා මග හරියි. එහෙත් අප තේරුම් ගත යුතු කාරණය වන්නේ මානසික රෝග කායික රෝග මෙන් ම මිනිසුන්ට සුලබව ඇතිවන රෝගී තත්ත්වයක් නිසා එය වෙනස් කොට නොසැලකිය යුතු බවයි.

 එලෙසම මානසික රෝග වැළඳීම වැළැක්වීම සඳහා යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වාගෙන යාමට අපට එදිනෙදා ජීවිතයේ දී පහත සරල ක්‍රියාකාරකම් කල හැක.

  • ක්‍රියාශීලි වීම
  • දිනපතා ව්‍යායාම කිරීම
  • සෞඛ්‍යමත් ආහාර ලබා ගැනීම
  • ප්‍රමාණවත් තරම් නින්දක් ලබා ගැනීම
  • ඔබේ හැඟීම් ඔබේ විශ්වාසනීයන් සමඟ බෙදාගැනීම්
  • හොද සමාජ සබදතා ගොඩ නගා ගැනීම
  • මෙලෙස යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වා ගනිමින් යහපත් ජීවන පෙවතක් ලගා කරගනිමු.