ඔබගේ ශරීර ශක්තිය වගේම නම්‍යශීලී භාවය වැඩිකරගැනීමට දායක වන යෝගා වර්තමානයේ ජනප්‍රියත්වයට පත්වී ඇති ක්‍රියාකාරකමක්. යෝගා කියන්නේ ඕනෑම පුද්ගලයකුට නිරත විය හැකි සාර්ථක  ප්‍රතිඵල ගෙන දෙන්නක්. යෝගා වල ඇති සුවිශේෂීත්වය වන්නේ භාවනාවට ලැදි හා අතිශය නම්‍යශීලී පුද්ගලයන්ට පමණක් එය වෙන් නොවීමයි.

යෝගා වර්ග ගණනාවක් තිබෙනවා. ඇතැම් යෝගා වර්ග වෙන් වන්නේ සන්සුන් වීමටයි. ඒ වගේම සමහර යෝගා තියෙන්නේ ශරීරයේ ක්‍රියාකාරීත්වය වැඩිකිරීමටයි. බොහොමයක් යෝගා අවධානය යොමු කරන්නේ විවිධ ඉරියව් වලින් ශරීරය තබා ගැනීමට ඉගෙන ගැනීමටයි. මේ ඉරියව් “ආසන” කියා හඳුන්වනවා. එම යෝගා ආසන මගින් ස්වසනයට අවධානය යොමු වීම සිදුවනවා.

යෝගා ආසන මගින් සිදුකරන්නේ ඔබගේ සිරුරේ මාංශ පේශීන් ඇදීමයි. එමගින් ඔබට වඩාත් පහසුවෙන් ශරීරය හසුරුවන්නත්, සන්සුන්ව ජීවිතය විඳින්නත් හැකියාව ලැබෙනවා.

මොන ආකාරයේ යෝගා වල ඔබ නිරත වූවත්, එහි ප්‍රතිලාභ ඉතා ඉක්මනින් අත්විදින්නට හැකියාව ලැබෙනවා. යෝගා වල සුවිශේෂී බාවය එයයි. එක්  අධ්‍යයනයකට අනුව යෝගා වල නිරත වූ මිනිසුන් සමූහයකගේ නම්‍යශීලී භාවය 35% කින් ඉහල ගිය අතර එම ප්‍රතිඵල ඔවුන්ට ලැබුනේ යෝගා වල නිරත වී සති 8ක් පමණ ගතවූ පසුවයි.

අශ්ටාන්ග යෝගා වැනි යෝගා ක්‍රම මගින් ඔබගේ ශරීර හැඩය මනාවට පවත්වාගැනීමට හැකියාව ලැබෙනවා. මෙම යෝගා ශරීරයට හොඳ බලපෑමක් එල්ල කරනවා.

ඒ වගේම හත යෝගා හා ඉයෙන්ගාර් යෝගා වැනි යෝගා වලින් විඳදරාගැනීමේ ශක්තිය වගේම ශාරීරික ශක්තියත් වැඩිකරගැනීමට හැකියාව ලැබෙනවා.

යෝගා වල විවිධාකාර ඉරියව් මගින් ශරීර අභ්‍යන්තරයෙන් ශක්තිය වර්ධනය කරගැනීමට හැකි වෙනවා.

කාලයත් සමග යෝගා වල නිරත වන ඔබගේ ශරීර ශක්තිය වගේම නම්‍යශීලී භාවය ඉහල යනවා. එමගින් ඔබගේ ඉරියව් වඩාත් මැනවින් පවත්වාගන්නට ඔබට පුලුවන් වනවා.

යෝගා මගින් ඔබගේ ශරීරය පිළිබඳව මනා දැනුවත් භාවයක් පවත්වාගන්නට ඔබට හැකියාව ලැබෙනවා පමණක් නොවේ ඔබට වඩාත් පහසුවෙන් ආශ්වාසය හා ප්‍රාශ්වාසය කිරිමට හැකිවෙනවා.

යෝගාවල යෙදීමෙන් අනතුරුව ඔබට දැනෙන දෙයක් තමයි ආතතිය අඩුවීම හා මනස සන්සුන් වීම.

යෝගා වලින් ඇති වන තවත් බලපෑමක් වන්නේ ඔබගේ රුධිර පීඩනය මැනවින් පවත්වාගෙන යාමට ශරීරයට හැකියාව ලැබීමයි. මෙමගින් අධි රුධිර පීඩන තත්වයන්ගෙන් මිදීමටත්, හදවත් රෝග වලින් පීඩා නොවිඳීමටත් හැකියාව ලැබෙනවා.

යෝගා ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන බවත් වාර්තා වෙනවා.

සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් පවත්වාගන්න යෝගා වලින් ලැබෙන බලපෑම එයයි

(WebMD ඇසුරිනි)

ඔෂිත නාරංගොඩ