තෙල් ආහාර කන්න බොහෝ අය කැමතියි. රසට පිසපු තෙල් ආහාර ගත්තත්, එවායින් ශරීරයට වන හානිය ගැන අමුතුවෙන් කියන්න අවශ්‍යය නැහැ.

නව අධ්‍යයන වාර්තාවකට අනුව තෙල් වලින් බදින ආහාර මගින් හදවත් රෝග ඇතිවීමේ අවදානම වැඩි වනවා වගේම ආඝාත (strokes) තත්වයන් ඇති වන බව සොයාගෙන තියෙනවා. තෙල් වලින් බදින ලද ආහාර ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න හදවත් රෝග සහ ආඝාතය ඇතිවීමේ අවධානම එන්න එන්නම ඉහල යන බව එම අධ්‍යයන වාර්තාවෙන් පෙන්වා දෙනවා.

එම පරීක්ෂණ වාර්තාව පෙන්වා දෙන්නේ සතියකට තෙවරක් හෝ එක් වතාවකට වඩා තෙල් ආහාර ගත් පුද්ගලයන්ට හදවත් රෝග හා ආඝාතය ඇතිවීමේ අවදානම සතියකට එක් වතාවකට වඩා අඩුවෙන් තෙල් ආහාර ගත් පුද්ගලයන්ට වඩා 7% වැඩි බවයි. ඒ විතරක් නෙවේ, දිනපතා තෙල් සහිත ආහාර ගන්නා පුද්ගලයන්ට එම අවදානම 14% කින් ඉහල යන බව වාර්තා වෙනවා.

ආහාරවේදී Dana Angelo White පැවසූයේ මෙම පරීක්ෂණ වාර්තා වලින් ඇය පුදුමයට පත් නොවන බවයි. මන්දයත්, තෙල් සහිත ආහාර ගැනීමෙන් ඇතිවන අයහපත් ප්‍රතිඵල පෙන්වා දුන් පළමු වාර්තාව මෙය නොවේ.

ඇය තවදුරටත් පැවසූයේ මද පමණින් තෙල් සහිත ආහාර ගැනීමෙන් ශරීරයට විශාල බලපෑමක් ඇති නොවුනත්, ඒවා ආහාරයට ගන්නා ප්‍රමාණය වැඩි වීමෙන් ඉහත සඳහන් රෝගයන්ට මුහුණ දීමේ අවදානම වැඩි වන බවයි.

ආහාර තෙලෙන් බැදීම ඇමරිකාවේ සුලභව දකින්නට ලැබෙන්නක් බව පරීක්ෂණ වාර්තාව පෙන්වා දෙනවා. මෙම පරීක්ෂණය මෙහෙයවූයේ Jacqueline Honerlaw මහත්මියයි. ඒ සඳහා විශාල පිරිසක් යොදාගත්තා. එම යොදාගත්ත පිරිසට හමුදාවට සේවය කරනු ලැබූ අය 155,000 ක් පමණ අඩංගුව සිටි අතර ඔවුන්ගෙන් 90%ක් පිරිමි වන අතර වයස 64 කින් සමන්විත අය බොහෝ ප්‍රමාණයක් ඇතුලත් වුනා.

Honerlaw මහත්මිය සහ ඇයගේ සගයන් පරීක්ෂණයට සහභාගී වූ පුද්ගලයන්ගෙන් ඇසුවේ ඔවුන් ගන්නා ආහාර මොනවාද යන්නයි. එමෙන්ම ඒ ගන්නා ආහාර වල තෙල් සහිත ආහාර ඇතුලත් වනවාද යන්න ඔවුන් සොයා බැලුවා.

පරීක්ෂණයට සහභාගී වූ අයගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් පැවසූයේ ඔවුන් සතියකට එක් වතාවකට අඩුවෙන් තෙල් සහිත ආහාර ගන්නා බවයි. එම පරීක්ෂණයට සහභාගී වූ පිරිසගෙන් කාලක් පමණ සතියකට එක් වතාවක් හෝ තෙවතාවක් තෙල් සහිත ආහාර ගන්නා බවත් 5% ක පමණ සුලු පිරිසක් දිනපතා තෙල් සහිත ආහාර ගන්නා බව පැවසූවා.

මෙම අධ්‍යයනයට පසුව එළඹුණු අවුරුදු 3 ඇතුලත එම පිරිසගෙන් 6,800 කට ආසන්න ප්‍රමාණයකට හදවත් රෝග හා ආඝාත තත්වයන් ඇති වුනා.

මෙම පරීක්ෂණයෙන් මෙවැනි ප්‍රතිපලයක් ජනිත වුනත්, ඔවුන් ආහාරයට ගත් තෙල් ආහාර වර්ග මගින් ඇති වන බලපෑම එකිනෙකනට වෙනස් වනවාද යන්න පැහැදිලි වූයේ නැත.

කෙසේවෙතත් මෙහිදී මතක තබාගත යුතු කාරණාව වන්නේ තෙල් සහිත ආහාර මගින් ශරීරයට අහිතකර වර්ගයේ මේද හා විශාල වශයෙන් කැලරි ලැබෙන බවයි.

(WebMD ඇසුරිනි)

ඔෂිත නාරංගොඩ