ලෝක සෞඛ්යය සංවිධානයට අනුව මැලේරියා රෝගය හැරුණු විට මිනිසාට තදින්ම බලපාන මදුරු උවදුර වන්නේ ඩෙංගු වසංගතයයි. ඩෙංගු බෝවන්නේ වෛරසයක් මගින් වන අතර එය අයත් වන්නේ ආර්.එන්.ඒ නම් වූ වෛරස වර්ගයටයි. ඊඩ්ස් ඊජිප්ටයි හා ඊඩ්ස් ඇල්බොපික්ටස් නම් වූ මදුරු විශේෂ දෙකෙන් පමණක් මෙම රෝගය බෝ වීම සිදු වේ.

විද්යානුකුලව ඩෙංගු වෛරස ප්රභේද 4ක් හදුනාගෙන ඇත. ඩෙන් 1, ඩෙන් 2, ඩෙන් 3 සහ ඩෙන් 4 ලෙස ඒවා හදුන්වනු ලැබේ. මින් එක ප්රභේදයකින් රෝගය වැළදුන අයෙකුට එම ප්රභේදය සදහා ජිවිත කාලයටම ප්රතිශක්තිය ලැබේ. එම නිසා ඩෙංගු රෝගයේ එක් වෛරස ප්රභේදයකට පුද්ගලයෙකු ගොදුරු වන්නේ එක වරක් පමණි. එමෙන්ම මෙම වර්ග හතරෙන් එක් ප්රභේදයකට ගොදුරු වී උණ හටගෙන සුවය ලබා,පසු කාලයකදී ඉතිරි ප්රභේද තුනෙන් එකකට ගොදුරු වුවහොත්, ඩෙංගු රක්තපාත හා ඩෙංගු කම්පන තත්වය ඇති වීමට ඉතා වැඩි ප්රවනතාවක් ඇති බවට සොයා ගෙන ඇත.

ඩෙංගු උණ රෝග ලක්ෂණ සාමාන්ය වෛරස් උනකදී පවා ඇති විය හැකි තද උණ, හිසරදය, වමනය, ඇගපත වේදනාව, බඩේ කැක්කුම ආදී රෝග ලක්ෂණ ඩෙංගු රෝගය වැළදුන විටදී දැකිය හැකියි. ඊට තරමක් හෝ වෙනස් වන්නේ ඩෙංගු උණ සෑදුනු විට ඉතා තදින් මාංශ පෙශින්ගේ හා හන්දිපත්වල වේදනාව ඇති වීමයි. මේ නිසා ඩෙංගු උණ සාමන්ය වෛරස් උණක් ලෙස වැරදියට හදුනා ගැනීම බොහෝ විට සිදු වේ. සාමන්යයෙන් ඉහත රෝග ලක්ෂණ දින තුන හතරකින් පහව යන අතර එසේ නොමැති වුවහොත් ඩෙංගු රක්තපාත තත්ත්වය දක්වා රෝගය උත්සන්න විය හැක. ඩෙංගු රක්තපාත උණ හටගත් විට උණ බැස යන අවස්ථාවේදී අභ්යන්තර රුධිර ගැලීම්වලට රෝගියා ගොදුරු වේ. මෙයට හේතුව නම් රුධිරයේ පවතින පට්ටිකා නම් සංඝටකය පහත වැටීමයි. මෙම අභ්යන්තර රුධිර ගැලීම් නිසා පහත ඩෙංගු රක්තපාත රෝග ලක්ෂණ ඇති වේ.

  • සම යට රත් පැහැ කුඩා පැල්ලම්, පළු ආදිය ඇති වීම
  • නාසය, දත්මුල්, මුත්රා මාර්ගයෙන් ලේ ගැලීම
  • බඩවැල් වලින් ලේ ගැලීම් ඇති විය හැකි නිසා මල තද දුඹුරු පැහැයෙන් යුක්ත වීම
  • ලේ වමනය (තද දුඹුරු හෝ කළු විය හැක)

මෙවැනි රෝග ලක්ෂණ පවතින විට වහාම රෝහල් ගත වීම අනිවාර්යය වේ. මන්ද යත් බොහෝ අවස්ථාවලදී ඩෙංගු රක්තපාත උණ  රෝගයෙන් පෙලෙන රෝගියෙකුගේ උණ තත්වය පහව ගියද අසනීප තත්වයෙන්ම පසු වීම ඩෙංගු කම්පන ලක්ෂණයක් විය හැක.

ඩෙංගු උණ රෝගියෙකු නිවසේ  සිටි නම්

  1. හැකි උපරිමයෙන් රෝගියාට විවේකය ලබා දෙන්න. ඇදට වී විවේක ගැනීමට සැලැස්වීම වඩා යෝග්ය වේ
  2. රෝගියා සිටින ඇදට මදුරු දැලක් දැම්ම ඉතා වැදගත් වන්නේ රෝගය අන් අය අතර පැතිරීම වැලැක්වීමටයි.
  3. හොදින් වාතාශ්රය ලැබෙන කාමරයක රෝගියා රදවා තබන්න
  4. සැහැල්ලු, ඇගට ලිහිල් වූ ඇදුම් අන්දවා තබන්න.
  5. තදින් උණ ඇත්නම් උණ බැස්සවීම සදහා ඇල්වතුරෙන් තෙමු රෙදි කඩකින් ඇග පිස දමන්න.
  6. සුළු ප්රමාණයන්ගෙන් නිතර නිතර දියර වර්ග, පාන වර්ග ලබා දෙන්න. ඒ හැර ඝන අහාර ගැනීමට හැකි නම් කැමති ඕනෑම ආහාරයක් ලබා දීමේ වරදක් නැත. නමුත් රෝගියාට වමනය යන්නේ නම් ප්රෝටීන් අධික අහාර ලබා දීම අඩු කල යුතුය.
  7. ඇස්ප්රීන් හෝ ඇස්ප්රීන් අඩංගු ඖෂධ වර්ග ගැනීමෙන් හෝ දීමෙන් වලකින්න.

ඩෙංගු රෝගය සදහාම විශේෂිත වූ වෛරස නාශක ප්රතිකාර ක්රමයක් නොමැත. ආධාරක ප්රතිකර්ම වශයෙන් විවේකය ලබා දීම, ශරීරයේ තරල සමතුලිතව තැබීම සදහා ක්රියා කිරීම හා වේදනා නාශක බෙහෙත් ලබා දීම සිදු කරයි. ඇස්ප්රීන් වැනි සමහර ඖෂධ වලින් රුධිරය ගැලීමේ ප්රවණතාව වැඩිවන බැවින් ඩෙංගු උණ යැයි  සැකයක් ඇති විට එවැනි ඖෂධ ගැනීමෙන් වැළකී සිටිය යුතුයි. කෙසේ වෙතත් මේ දිනවල උණ රෝගී තත්වයක් ඇති වුවහොත් පැරසිටමෝල්  ඖෂධය පමණක් ලබා දීමට කටයුතු කිරීම අවධානම අවම කිරීමට හේතු වේ.

ලෙඩ වෙන්න කලින් ඩෙංගු වලක්වා ගැනීමට කටයුතු කිරීමට අපට හැකිය. මන්ද යත් මෙම මදුරුවන් බෝ වීමට අවශ්ය පරිසරය සකස් කර දෙන්නේ මිනිසා වන අපිම වීම නිසාය. එම නිසා සෑම විටම ජලය රැදෙන ස්ථාන අවම කරමින් ඔබ අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට කටයුතු කරන්න.