මේ දින වල අපිට නිතර අහන්න ලැබෙන දෙයක් තමයි ලංකාව ප්රතිජීවක ප්රතිරෝධී හෙවත් Antibiotic Resistance වෙමින් යන බව. නමුත් අපේ රටේ ගොඩක් අය මෙහි තේරුම නොදන්නා නිසාම එහි ඇති භයානක කම ගැනත් දැනුවත් නැහැ. අපේ රටේ ප්රතිජීවක ඖෂධ අවභාවිතය අතින් ඉහලින්ම සිටින රටක්. මොකද පොඩි උණක්, හෙම්බිරිස්සාවක් හැදුනත් අපි පුරුදුවෙලා තියෙනවා antibiotic පෙත්තක් බොන්න. මොකද වෛද්යවරයෙකුගේ බෙහෙත් වට්ටෝරුවකින් තොරව පවා මෙම ප්රතිජීවක ඖෂධ මිලදී ගැනීමේ හැකියාව අප රට තුල පවතිනවා මෙන්ම, අපේ සමහර වෛද්යවරුන් පවා රෝගීන්ට අනවශ්ය ලෙස ප්රතිජීවක ඖෂධ නිර්දේශ කිරීම සිදු කරනවා.

ලෝක සෞඛ්ය සංවිධානයට අනුව, ප්රතිජීවක ඖෂධ අනිසි ලෙස භාවිතා කිරීමෙන් ලොව පුරා වාර්ෂිකව මිලියන 0.7 ක් මිය යයි. 2050 වන විට මෙම සංඛ්යාව වාර්ෂිකව මිලියන 10 ක් දක්වා ඉහළ යනු ඇත. මෙයින් වඩාත්ම බලපෑමකට ලක් වූ කලාපය ලෙස ආසියානු කලාපය හදුනා ගෙන ඇති අතර එම නිසා ඉහත සදහන් කල මරණ සංඛ්යාවෙන් අඩකට ආසන්න ප්රමාණය ආසියානු කලාපයේ සිදු වීමට බොහෝ ඉඩ කඩ පවතී.

එම නිසා ඔබ තදින් සිතට ගත යුතු කරුණ නම් ප්රතිජීවක ඖෂධ යනු කෝකටත් තෛලය නොවේ, දැනගෙන නිවැරදි ලෙස භාවිත කලයුතු ඖෂධ විශේෂයක් වන බවයි.

මොනාද මේ ප්රතිජීවක ඖෂධ කියන්නේ?

යම් ක්ෂුද්ර ජීවී කාණ්ඩයක් මගින් නිපදවන; වෙනත් ක්ෂුද්ර ජීවී කාණ්ඩයක් වනසා දැමීමේ හෝ වෙනත් ක්ෂුද්ර ජීවී කාණ්ඩයක වර්ධනය හා ගුණනය වළකා දැමිය හැකි රසායනිකයන් “ප්රතිජීවක” ලෙස සරලව හැදින්විය හැකියි. වර්තමානයේ රසායනිකව සංශ්ලේෂණය කරන ලද ප්රතිජිවක ඖෂධ පවා දැකිය හැකියි. ප්රතිජීවක ඖෂධ භාවිත කරනු ලබන්නේ බැක්ටීරියා නම් ක්ෂුද්ර ජීවී කාණ්ඩය මගින් ඇති කරනු ලබන අසාදන තත්වයන් සදහා  ප්රතිකාර කිරීමටයි. මිනිසාට අසාදන තත්වයන් ඇති කරන බැක්ටීරියා විශේෂ විශාල ප්රමාණයක් පවතියි. එම නිසා බැක්ටීරියා අසාදනය අනුව ලබා දෙන ප්රතිජීවක ඖෂධ ද වෙනස් වේ. ප්රතිජීවක පරාසය යනු යම් ප්රතිජිවී ඖෂධයක් ක්රියාකරනු ලබන පරාසය විස්තර කරනු ලබන සාධකයයි. මේ අනුව සමහර ප්රතිජීවක පුළුල් පරසයකත්, ඇතැම් ඒවා පටු පරසයකටත් සීමාවී ක්රියාකරයි. උදාහරණයක් ලෙස අප රටේ බහුලව භාවිතා වන ඇමොක්සිසිලින් (Amoxicillin) යනු පුළුල් පරාසයක ක්රියාකරනු ලබන ප්රතිජීවකයකි.

හිතුමතේ ප්රතිජීවක ඖෂධ භාවිතය මගින් ඇති වෙන සෞඛ්‍ය ගැටලු මොනවාද?

ප්රතික්ජීවක ඖෂධ තරම් වැරදි ලෙස භාවිත වන ඖෂධයක් නොමැති තරම්ය.  මෙයට හේතුව නම් බොහෝ ක්ෂුද්ර ජීවී ආසාදන බැක්ටීරියා ආසාදන ලෙස වැරදියට සැලකීමත්, ප්රතිජීවක ප්රතිකාරයක ඉලක්කය වන්නේ රෝගියාට හානියක් නොකර අදාල බැක්ටීරියාව විනාශ කිරීම මගින් රෝගය සුව කිරීම නිසා ඉතා ආරක්ෂාකාරී ඖෂධයක් ලෙස වැරදි විශ්වාසයක් ඇති කර ගැනීමත් ය. යම් ආසාදනයකට හිතුමතේ ප්රතිජීවක ලබා දීමෙන් රෝගියාගේ ප්රතිජීවක ප්රතිරෝධය ඉහල යන අතරම සත්ය වශයෙන්ම රෝගය සදහා ලබා දිය යුතු ඖෂධ හදුනා ගැනීමට අදාල රසායනාගාර පරීක්ෂණ වලටද බලපෑමක් ඇති විය හැක, එම නිසා වෛද්යවරයකු පවා ප්රතිජීවක ඖෂධ නිර්ධේශ කිරීමට පෙර අදාල රෝගියාගේ ආසාදන තත්වය, බැක්ටීරියා අසදනයක් නම් එම අදාල බැක්ටීරියා විශේෂය ආදී කරුණු ගණනාවක් විමසුමට ලක් කල යුතුය.

ප්රතිජීවක ප්රතිරෝධය කියන්නේ මොකද්ද?

බැක්ටීරියා හා ප්රතිජීවක අතර සටනේදී ප්රතිජීවක සදහා සදාතනික ජයග්රහණයක්  ලබා දීමට වෛද්ය විද්යාවට හැකියාව ලැබී නැහැ. වරක් පැරදී යටත් වූ බැක්ටීරියා වඩා ශක්තිමත් ස්වරූපයකින් නැවත හිස ඔසවන්නට සමත් වෙනවා. මෙසේ අදාල ප්රතිජීවක වලට ප්රතිරෝධී බැක්ටීරියා බිහි වීම නිසා කලක් සාර්ථකව භාවිතා කල ප්රතිජීවක ඖෂධ නැවත භාවිතයේදී ඒ සදහා අදාල බැක්ටීරියා සංවේදී නොවීම මගින් ආසාදනය මැඩ පැවැත්වීමට නොහැකි වීම ප්රතිජීවක ප්රතිරෝධය ලෙස හැදින්වේ. අවිචාරාත්මක භාවිතය නිසා මේ වන විට බොහෝ ප්රතිජීවක ඖෂධ සදහා ප්රතිරෝදී බැක්ටීරියා කාණ්ඩ බිහිවී හා බිහි වෙමින් පවතින බව විද්වතුන් සොයාගෙන තිබේ. මෙහි ඇති අවාසිය වන්නේ අදාල ප්රතිජීවක ප්රතිකාරයම පමණක් අවශ්ය වන දරුණු ආසාදන තත්වයකදී, අදාල ප්රතිජීවක ඖෂධය ලබා දීම මගින් සාර්ථක ප්රතිපල අත් කර ගැනීමට නොහැකි වීම නිසා රෝගියාට මරණය පවා අත් විය හැකි වීමයි.

අපි ප්රතිජීවක ප්රතිකාරයකින් උපරිම ප්රතිපල ලබාගනිමින් ප්රතිරෝදී බැක්ටීරියා කාණ්ඩ බිහිවීම වළක්වා ගැනීමට කල යුත්තේ කුමක්ද?

ප්රතිජීවක ඖෂධ ලබා ගැනීමේදී; අදාල වෛද්ය උපදෙස් අනුව භාවිතා කිරීමත් අනවශ්ය ලෙස ප්රතිජීවක ඖෂධ භාවිත නොකොට භාවිතය සීමා කිරීමත්  මගින් ප්රතිරෝධී බැක්ටීරියා බිහිවීම වලක්වා ගත හැකිය. එනම් ඔබට වැළදෙන කැස්ස, සෙම්ප්රතිශ්යාව වැනි සුළු රෝගී තත්වයන් සදහා ප්රතිජීවක ප්රතිකාර ලබා ගැනීම  කිසි විටෙක සිදු නොකරන්න.

  • නිවැරදි මාත්රාව නිවැරදි කාල පරතරය ඇතිව භාවිත කරන්න. එනම් ඔබට පැය 6 කට වරක් ලබා ගැනීමට උපදෙස් ලැබුණු ප්රතිජීවක ඖෂධයක් දිනකට තුන් වරක් භාවිතයෙන් සාර්ථක ප්රතිපල අත් කර ගත නොහැකි. එය පැය 6 කට වරක් නිවැරදි කාල පරතරයෙන් ලබා ගැනීම අනිවාර්ය වේ.
  • උපදෙස් ලබා දී ඇති පරිදි කෑමට පෙර හෝ පසුව ලබා ගන්න. මන්ද යත් අමාශයේ ආහාර තිබීම සමහර ප්රතිජීවක ඖෂධ වල අවශෝෂණය අඩපණ කරයි. එම නිසා අහර ලබා ගැනීමට පැය භාගයකට පසුව හෝ පෙර ඖෂධ ලබා ගැනීම වඩා යෝග්ය වේ.
  • බොහෝ විට ඔබෙන් සිදු වන වැරද්දක් වන්නේ රෝග ලක්ෂණ තුනී වී ගිය පසු ප්රතිජීවක ඖෂධ ලබා ගැනීම නතර කිරීමයි. මෙය ප්රතිරෝදී බැක්ටීරියා ඇති වීමට බෙහෙවින් බලපාන්නා වූ කරුණකි. එම නිසා අදාල නිර්දේශිත කාලය සම්පුර්ණ වන තෙක් නිසි පරිදි ඖෂධ ලබා ගැනීමට  කටයුතු කරන්න.
  • යම් රෝගයකට ඔබට ලබා දුන් ප්රතිජීවක ප්රතිකාරය අසාර්ථක වුයේ නම් නැවත වතාවක් වෛද්යවරයකු හමු වීමේදී අදාල ඖෂධ පිලිබඳ වෛද්යවරයා දැනුවත් කිරීමට කටයුතු කරන්න