මාසික ඔසප් වීම කාන්තා ඔබට නුපුරුදු අත්දැකීමක් නොවෙයි. නමුත් මේ සුපුරුදු අත්දැකීම බොහෝ දෙනෙක් හට ඉතා වේදනාකාරී හා අමිහිරි අත්දැකීමක්. ඊට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ මේ සමග ඇතිවන වේදනාව හා අධික රුධිර වහනයයි. ගර්භාෂයේ ඇතුළත බිත්තිය ඒසේත් නැත්නම් එන්ඩොමෙට්‍රියම් කියන සෛල ස්තරය බිඳ වැටීමෙන් අනතුරුව තමයි කාන්තාවන්ගේ ඔසප් චක්‍රය ආරම්භ වී රුධිර වහනය සිදු වෙන්නේ. ඔසප් ක්‍රියාවලියේ දී දින කිහිපයක් පුරාවට සිදුවන රුධිර වහනය සාමාන්‍ය දෙයක් වුවත් ඇතැමුන් හට ඒදිනෙදා කටයුතු සිදූ කරගත නොහැකි මට්ටමින් අධික ලෙස රුධිර වහනය සිදුවෙනවා. මෙම අසාමාන්‍ය තත්වය සඳහා  බලපාන හේතු සාධක කිහිපයක් සහ ඒ් සඳහා ඇති ප්‍රතිකාර පිළිබඳයි අද අපි අවධානය යොමු කරන්නේ.

ඔසප් වීමේදී රුධිර වහනය අධික වීමට සහ ඔසප් නතර වීමටනම් වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු අවස්ථාවන් ද දැකගත හැකියි. මේ සදහා මූලිකවම හේතු සාධක වන්නේ

01.ඔසප් චක්‍රයේ හෝර්මෝන ක්‍රියාවලියේ අසමතුලිත බව. 

ස්වභාවික ඔසප් චක්‍රය කොරෙහි බලපෑම් ඇති කරනු ලබන හෝර්මෝනයන්හි ඇතිවන අසමතුලිතතාවය හේතුවෙන්ද මෙලෙස අධික ලෙස රුධිර වහනයක් ඇති කරනු ලබනවා. පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝම් (PCOS) නම් රෝගී තත්වයට අමතරව මල්වර වූ අළුත සහ ආර්තවහරණයට ආසන්න කාන්තාවන් තුළද මෙම හෝර්මෝන අසමතුළිතතාවය දැකගත හැකියි. ඒබැවින් මෙම කාණ්ඩයන්ට අයත් කාන්තාවන් ඔසප් සමය තුළ අධික ලෙස රුධිර වහනය සිදු වීමෙන් දැඩි අපහසුතාවන්ට ලක්වන අයුරු දැන ගන්න පුලුවන්.

02. ගර්භාෂය තුළ පවත්නා ගෙඩි 

රුධිර වහනය සඳහා බලපාන තවත් ඒක් හේතුවක් තමයි ගර්භාෂයේ මාංශ පේෂී බිත්තියේ ඇතිවෙන ගෙඩි. මෙම තත්වය ෆයිබ්‍රොයිඩ් ගෙඩි (Fibroids )ඇතිවීම ලෙස හඳුන්වනු ලබනවා. රුධිර වහනය කෙරෙහි මෙම ගෙඩි වල විශාලත්වය සහ පිහිටි ස්ථානය වැඩි බලපෑමක් සිදු කරනවා.

03. ගර්භාෂය ඉදිමීමට ලක්වීම

මෙම තත්වය ඇඩිනොමයෝසිස් රෝග තත්වය (Adenomyosis) ලෙස හඳුන්වන අතර මේ නිසාද ඔසප් වීමේදීඅධික වේදනාවක් සහ අධික රුධීර පීඩනයක් ඇති වෙනවා.

04. ගර්භාෂයේ ඇතුළත බිත්තියේ ඇතිවෙන මස්දළු

05. ගර්භාෂය ආශ්‍රිතව ඇතිවින විෂබීජ ආසාදන තත්වන්

06. ගර්භාෂය ආශ්‍රිත පිළිකා තත්වයන්, රුධිර කැටි ගැසීම වලක්වන ඖෂධ ගැනීම, උපත් පාලන ලූපය, හෝර්මෝන අඩංගු උපත් පාලන ක්‍රම, රුධිර කැටි ගැසීම අසාමාන්‍ය වෙන රෝග තත්වයන්

නමුත් ඔබ මතක තබා ගත යුතු වන්නේ ඉහත දක්වන ලද රෝග හේතුවෙන් ඔසප් වීමේ දී අධික රුධිර වහනයක් සිදුවන්නේ ඉතාමත් කලාතුරකින් බවයි.

ඔබත් මේ ආකාරයට අධික රුධිර වහනය හේතුවෙන් පීඩාවට පත්වී සිටිනවනම් හොඳම දේ තමයි සුදුසුකම් ඇති වෛද්‍යවරයෙකු හමුවෙලා ඔබේ ගැටළුව විසදා ගැනීම.  මෙහිදී ස්කෑන් පරීක්ෂණයක් හෝ අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂාවක් සිදු කිරීම තුළින් ඔබේ ගර්භාෂය ආශ්‍රිතව පවත්නා ඉහත සඳහන් කළ රෝගාබාධ හඳුනා ගැනීමටත් ඒ්වාට නිසි ප්‍රතිකාර ලබා දීමේ අවස්ථාවත් වෛද්‍යවරයාට හිමිවනවා. ඒමෙන්ම ඔබ අධික ලෙස රුධිර වහනයෙන් පීඩා විඳ ඇත්නම්  රුධිරයේ හිමෝග්ලොබින් මට්ටම පරීක්ෂා කර බැලීමද ඉතා වැදගත්. ශරීරයට අවශ්‍ය හිමොග්ලොබින් ප්‍රමාණය අනවශ්‍ය ලෙස පහත ගොස් ඇතිනම් රුධිර පාරවිලනයක් මගින් හෝ යකඩ සහ විටමින් පෙති ලබා දීම මගින් යථා තත්වයට පත් කරලීමට හැකියාව පවතිනවා.

ඔසප් වීමේ දී ඇතිවන අධික වේදනාව සමනය කර ගැනීම උදෙසා ඇතැම් කාන්තාවන් වෛද්‍ය නිර්දේශ මත Mefenamic acid භාවිතයට ගනු ලබනවා. මීට අමතරව මේ සඳහා බලපෑ හේතුව හෝර්මෝන අසමතුලිතතාවයක්නම් ඒ සඳහා විසඳුම වන්නේ වෛද්‍යවරයා විසින් නිර්දේශ කරන ලද ඖෂධ නිසියාකාරව භාවිතයට ගැනීමයි. මෙලෙස දිගු කාලයක් ඖෂධ ලබා ගැනීමට සිදු වීමේ දී ඔබට අවශ්‍යනම් හෝර්මෝන අඩංගු ලූපයක් ඔබගේ ගර්භාෂයෙහි තැන්පත් කිරීමට හැකියාව ඇත. ඉතා කලාතුරකින් මෙම අධික රුධිර වහනය නැවැත්වීම උදෙසා ශල්‍යකර්ම යොදාගන්නා ආකාරය ද දැක ගන්න පුළුවන්. . ඒ සඳහා යොදා ගන්නා සැත්කම් කිහිපයකි.

  1. හිස්ටරොස්කොපි සැත්කම

මෙහිදී යෝනි මාර්ගය හරහා ඇතුළු කරන ඉතා සියුම් කැමරාවක් මගින් ගර්භාෂය ඇතුළත කුහරය නිරීක්ෂණය කරනු ලබනවා. ගර්භාෂය තුල ඇති කුඩා මස් දළු සහ ෆයිබ්‍රොයිඩ් ගෙඩි මෙම අවස්ථාවේ දීම ඉවත් කිරීමට සහ ගර්භාෂය ඇතුළත පිළිකා තත්වය ඇත්දැයී පරීක්ෂා කිරීමට අවශ්‍ය සාම්පල ලබා ගැනීමක්ද මෙම අවස්ථාවේදීම සිදු කිරීමට හැකියාව ඇත.

  • මයෝමෙක්ටොමි සැත්කම

විවෘත සැත්කමක් ලෙස හෝ සිරුරට අවම හානියක් වන ලෙස ලැපරොස්කොපි සැත්කමක් ලෙස සිදුකළ හැකි මෙමගින් ගර්භාෂයේ ඇති ෆයිබ්‍රොයිඩ් ගෙඩි පමණක් ඉවත් කරනු ලබනවා. එමනිසා සැත්කමින් අනතුරුව නැවත දරු පිළිසඳ ගැනීමකට ද අවස්ථාව තිබෙනවා.

  • ඇඩිනොමයෝමෙක්ටොමි සැත්කම

ලැපරොස්කොපි ක්‍රමයට සිදු කළ හැකි මෙම සැත්කම මගින් ගර්භාෂයේ ඇඩිනොමයෝසිස් තත්වය ඉතා බරපතල ලෙස පැතිරී නොමැතිනම් සැත්කමක් සිදුනොකර එම කොටස පමණක් ඉවත් කරනු ලබයි.

  • ගර්භාෂය ඉවත් කිරීමේ සැත්කම.

කාන්තාවන්ගේ රුධිර වහනය ස්ථිරව නතර කිරීමට මෙම සැත්කම භාවිත කරන අතර අතුරු ආබාධ සහ වේදනාව අවම කිරීම උදෙසා ලැපරොස්කොපි ක්‍රමයට මෙයද සිදු කළ හැක.

දිගින් දිගටම සිදු වන අධීක රුධිර වහනය හේතුවෙන් ඔබ නිරක්තිය වැනි රෝගාබාධ වලට ගොදුරු වීමට ඉඩ ඇත. එබැවින් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු මුණ ගැසී මුල් අවධියේ දීම නිසි ප්‍රතිකාර ලබා ගැනීමටත් එකී ප්‍රතිකාර තුළින් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබේනම් ශල්‍යකර්මයක් ආශ්‍රයෙන් මෙම ගැටළුවට ස්ථීර විසඳුමක් ලබා ගැනීමටත් හැකියාව ඇත.