නව පර්යේෂණ වාර්තාවකට අනුව බැක්ටීරියා නාශක ඖෂධ බොහොමයක අඩංගු රසායනික ද්‍රවය්‍යක් වන ට්‍රයික්ලොසාන් ස්ත්‍රීන් ගේ අස්ථි වලට ඍණාත්මක බලපෑමක් එල්ල කරන බව පැවසේ.

මේ සම්බන්ධයෙන් පර්යේෂණයක යෙදුණු චීනයේ හැන්සෞ වෛද්‍ය විද්‍යාලයේ පර්යේෂක යින්ජුන් ලී පවසන අන්දමට සිරුරේ ට්‍රයික්ලොසාන් මට්ටම ඉහළ යන විට ඔස්ටියෝපොරෝසිස් අවදානමකට ලක්විය හැකියි. ඇය සහ අනිත් පර්යේෂකයන් මේ බව සොයාගෙන ඇත්තේ ස්ත්‍රී මුත්‍රා සාම්පල භාවිතා කරමිනුයි. ඇය තවදුරටත් පැවසූයේ අධි ට්‍රයික්ලොසාන් මට්ටම් සතුන්ගේ අස්ථි වලට බලපෑම් ඇතිකරන බව සොයාගෙන තිබුණත්, ඊට සමාන බලපෑමක් මිනිසුන්ගේ අස්ථි වලට සිදු වන බව මුලින්ම දැනගන්නට ලැබුනේ එම පර්යේෂණයේදී බවයි.

ට්‍රයික්ලොසාන්, දන්තාලේප හා මුඛ ශෝදන දියර වල බහුලව භාවිතා වෙනවා. ඇමෙරිකාවේ, අත් පිරිසිදු කිරීම සඳහා භාවිතා වන සනීපාරක්ෂක දියර වල ට්‍රයික්ලොසාන් අඩංගු කිරීම තහනම් කරත්, වෙනත් නිෂ්පාදන සැකසීමේදී එය තවමත් භාවිතා වනවා.

එනමුත් ඔස්ටියෝපොරෝසිස් තත්වයක් ඇතිකිරීමට ට්‍රයික්ලොසාන් සෘජුව බලපාන බව පැවසිය නොහැකිය.

ඇමරිකාවේ Food and Drug Administration (FDA) පවසන්නේ තයිරොයිඩ හෝමෝන මට්ටම් අඩුවීම වගේම බැක්ටීරියා, බැක්ටීරියා නාශක ඖෂධ වලට ප්‍රතිරෝධී වීම ට්‍රයික්ලොසාන් හා සම්බන්ධ බවයි. නමුත් FDAය පවසන්නේ ඉහත සඳහන් අවධානම් තත්වයන් ඇතිවන්නේ ට්‍රයික්ලොසාන් ම නිසා බව තවමත් ඔප්පු කර නොමැති බවයි.

කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ කීට විද්‍යාව සම්බන්ධ මහාචාර්ය බෲස් හැමොක් පවසන්නේ ට්‍රයික්ලොසාන් අස්ථිවලට යම්කිසි බලපෑමක් ඇතිකරන බව සඳහන් වන වාර්තා සාධාරණ බවයි.

ඉහත සඳහන් පර්යේෂණය සිදුකීරීමට ලී සහ හවුල්කරුවන්, ස්ත්‍රීන් 1900 ක පමණ දත්ත භාවිතා කෙරූ බව වාර්තා වනවා.

වෙනත් පර්යේෂකයකු පවසන්නේ ක්‍රමානුකූලව හා පමණ නොඉක්මවා ට්‍රයික්ලොසාන් අඩංගු නිෂ්පාදන භාවිතා කිරීම වඩා හොඳ බවයි. කෙසේවෙතත් ඕනෑම දෙයක් සීමාව නොඉක්මවා භාවිතා කිරීම ජීවිතයට ගුණදායකයි.

(WebMD ඇසුරිනි)

ඔෂිත නාරංගොඩ