නව පරීක්ෂණයකින් පෙන්වා දෙන ආකාරයට වායු දූෂණය ඔබගේ පෙණහැලි වලට පමණක් නොව රුධිර පීඩනයටත් බලපෑමක් එල්ල කිරීමට තියෙන ඉඩකඩ වැඩියි.

දිගුකාලීනව වායු දූෂණයට නිරාවරණය වීමෙන් අධි රුධිර පීඩනය ඇතිවීමත්, පරිවෘත්තිය සම්බන්ධයෙන් රෝග ලක්ෂණ (metabolic syndrome) ඇතිවීමත් සිදුවිය හැකි බව නව වාර්තාවකින් පෙන්වා දෙනවා.

Metabolic syndrome යනු හදවත් රෝග සහ දියවැඩියාව යනාදිය උත්ප්‍රේරණය කරන විවිධාකාර සෞඛ්‍යමය ගැටලූන් වල එකතුවක්.

මෙම පර්යේෂණය සඳහා පර්යේෂකයන් විසින් ලිතුවේනියාවේ දෙවැනියට විශාලම නගරය වන කෞනාස්හි පෞද්ගලික හා මහල් නිවාසවල පදිංචි මිනිසුන්ගෙන් ලබාගත් දත්ත විශ්ලේෂණයට ලක් කලා. කෞනාස්හි ජනගහනය 280,000 ක් පමණ වනවා.

මෙහිදී ඔවුන් පරීක්ෂණයට භාජනය කලේ නගරයයේ පදිංචි කරුවන් දිගුකාලීනව වායු දූෂණයට නිරාවරණය වීම, හරිත අවකාශ හා ප්‍රධාන මාර්ග වලට කෙතරම් දුරකින් ජීවත් වනවාද යන්න සහ Metabolic syndrome හි සංරචක වන අධි ට්‍රයිග්ලිසරයිඩ මට්ටම්, රුධිරයේ සීනි මට්ටම් ඉහල යෑම, HDL කොලෙස්ටරෝල් මට්ටම් පහල යෑම වගේම තරබාරුකම යනාදියේ සම්බන්ධයයි.

ඔවුන්ට සොයාගන්නට ලැබුණේ එම නගරයේ ඇති මහල් නිවාස වල ජීවත් වන මිනිසුන් ඉහත සඳහන් සෞඛ්‍යමය ගැටලු වලට මුහුණ දී ඇති බවයි.

එම පරීක්ෂණයෙන් එවැනි සම්බන්ධයක් සොයාගන්නට සමත් වූවත්, ඔවුන්ට සැබෑ හේතුවක් සහ ඵලයක් සොයාගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.

ඔවුන්ගේ සොයාගැනීම් ජුනි මස 24 වැනිදා Journal of Public Health හි පළවූවා.

මෙම පරීක්ෂණයේ මූලිකත්වය ගත්තේ ලිතුවේනියානු විශ්වවිද්‍යාලයේ හෘද විද්‍යාව සම්බන්ධ ආයතනයේ Agne Braziene යි.

Agne Braziene පවසන අන්දමට, ඔවුන්ගේ පරීක්ෂණ වාර්තා පෙන්වා දෙන්නේ, පුද්ගලයන් බොහෝ දෙනෙක් එකට ජීවත් වන නිවාස වල එක් පුද්ගලයෙක් සඳහා අවශ්‍යය වන අවකාශය විධිමත්ම සකස් කිරීම, එම නිවාස වල හරිත අවකාශ (green spaces) අඩංගු කිරීමේ අවශ්‍යතාවය ප්‍රවර්ධනය කිරීම, මහල් නිවාස ශබ්ද පරිවරණය කිරීම (noise insulation) වැදගත් බවයි.

(WebMD ඇසුරිණි)
ඔෂිත නාරංගොඩ