මස් කෑම ශරීරයට අහිතකර බව අමුතුවෙන් කිවයුතු දෙයක් නෙවේ.

ජීවිතය කෙටි නොකරගන්න කැමති නම්, පර්යේෂකයන් පවසන්නේ හරක් මස් ඇතුලුව රතු පැහැති මස් වැඩිපුර ආහාරයට නොගත යුතු බවයි. ඔවුන්ගේ පරීක්ෂණ වලට අනුව, ඔබ දිගින් දිගටම රතු පැහැති මස් (red meat) ආහරයට ගන්නේ නම්, ඔබගේ ආයුශ කෙටි වන තත්වයක් උදාවෙයි.

පර්යේෂණ කර්තෘන් පැවසුවේ දවසක් ඇතුලත රතු පැහැති මාංශ අනුභවය වේල් භාගයකින් වැඩි කිරීමෙන් මරණයට අවුරුදු අටක් තුල ළඟාවීමේ සම්භාවිතාවය 10% කින් වැඩි වන බවයි.

එමෙන්ම ආහාරයට ගන්නා මස් වර්ගයත් වැදගත් සාධකයක් බව ඔවුන් පෙන්වා දුන්නා. පෙර සැකසූ මස් අඩංගු හොට් ඩෝග්ස්, සලාමි වේල් භාගයක් පමණ ආහරයට ගැනීමෙන් කලින් මරණයට ලඟාවීමේ සම්භාවිතාවය 13% කින් වැඩි වන අතර, පෙර නොසැකසූ මාංශ මගින් 9% කින් වැඩි වන බව ඔවුන් පැවසූවා.

පරීක්ෂණය මෙහෙයවූ වෛද්‍ය Frank Hu පැවසූයේ රතු පැහැති මාංශ ආහාරයට ගැනීම අඩු කිරීම ශරීරයට වඩාත් ගුණදායක බවයි.

වෛද්‍ය Hu, Boston හි Harvard T.H. Chan මහජන සෞඛ්‍ය විද්‍යාලයේ පෝෂණය සම්බන්ධ දෙපාර්තුමේන්තුවේ ප්‍රධානියායි.

ඔහු පවසන පරිදි, ඔබ සැළකිල්ලට ගත යුතු කාරණාවක් වන්නේ රතු මාංශ ගැනීමෙන් වැළකී, ඒ වෙනුවට එළවළු, බීජ සහ බිත්තර තම ආහාර වේලට අඩංගු කිරීමෙන් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ළඟා කරගත හැකි බවයි.

“අපි දන්නවා රතු පැහැති මාංශ නිශ්පාදනයෙන් පරිසරයට අහිතකර බලපෑමක් ඇතිවන බව. පරිසරය වගේම ජීවිතයත් ආරක්ෂා කරගැනීම සඳහා මාංශ වලින් තොර ආහාර රටාවකට පුරුදු වීම ගුණදායකයි,” වෛද්‍ය  Hu මහතා පැවසීය.

රතු පැහැති මාංශ අනුභවයෙන් හදවත් රෝග ඇතිවීමේ අවදානම වැඩිබව අමතක නොකළ යුතු කරුණක්. එයට අමතරව බැක්ටීරියා මගින් බඩවැල් ආසාදනය වීමට ඇති හැකියාවත් වැඩියි.

ශාකමය ආහාර රටාවකට නැඹුරු වෙමු.

(WebMD ඇසුරිනි)

ඔෂිත නාරංගොඩ