මානසික සෞඛ්‍ය මැනවින් පවත්වාගෙන යාමට ඇල්කොහොල් පානය කිරීමෙන් නිදහස් වෙන්න!

හුඟක් දෙනා අතර තියෙන විවාදයක් තමයි මද වශයෙන් මත්පැන් පානය කිරීම ශරීරයට හිතකරද අහිතකරද නැත්නම් සෞඛ්‍යයට බලපෑමක් නැද්ද යන්න.

නව අධ්‍යයනයක් පෙන්වා දෙන්නේ මත්පැන් පානය කිරීම නැවැත්වීමෙන් වඩා හොඳ මානසික සෞඛ්‍යයක් වගේම යහපැවැත්මක් පවත්වාගත හැකි බවයි. එම අධ්‍යයනය තව දුරටත් පෙන්වා දුන්නේ එම ප්‍රතිඵල ලැබූ අය අතර කාන්තාවන් සුලභ බවයි.

බොහොමයක් පිරිස සමාජගත වීමේදී මත්පැන් පානය කරනවා. වැඩපොලේ දී හෝ පවුලේ උත්සවයන් වල ඒ අය මත්පැන් පානය කරනවා. ඒ වගේම හුඟක් දෙනා පුරුද්දක් වශයෙන් රාත්‍රී ආහාර ගැනීමෙන් පසුව හා කාර්යබහුල දිනයක් අවසානයේ වයින් හෝ බියර් වීදුරුවක් පානය කරන එක සාමාන්‍ය දෙයක්.

විවිධාකර පුද්ගලයන් අඩුවෙන් හෝ මධ්‍යස්ත ලෙස මත්පැන් පානය කරන සමූහ වලට අයත් පිරිසයි. මේ පුරුද්ද හානිදායකද? නැත්නම් මත්පැන් හෙවත් ඇල්කොහොල් වලින් ඔබ වැළකිය යුතුද?

මත්පැන් කුමන ප්‍රමාණයක් හෝ පානය කිරීම ආරක්ෂිත හා සෞඛ්‍යයට හිතකරද පිළිබඳ පර්යේෂකයන් දක්වන අදහස් විවිධාකරයෙන් වෙනස් වේ.

උදාහරණයක් ලෙස, මෙම අවුරුද්දේ මුලදී The Lancet හි පලවූ අධ්‍යයනය වාර්තාවක් පෙන්වා දුන්නේ මධ්‍යස්ත වශයෙන් මත්පැන් පානයෙන් හෘද වාහිනී සම්බන්ධ රෝගී තත්වයන් ඇති විය හැකි බවයි.

මීට අමතරව මේ මාසයේ පලවූ Alcoholism: Clinical and Experimental Research ජර්නලය පෙන්වා දුන්නේ කලාතුරකින් මත්පැන් පානය කරන වැඩිහිටි උදවිය වැඩි කාලයක් ජීවත් වන බවයි.

මත්පැන් පානය කිරීම හා මාන්සික සෞඛ්‍යය සම්බන්ධයෙන් ගැටලු පැනනගිනවා. වෛද්‍යවරුන් පවසන්නේ මත්පැන් දිගින් දිගටම පානය කිරීම මානසික සෞඛ්‍යයට අහිතකර වූවත් මද වශයෙන් මත්පැන් පානය කරන උදවියට අහිතකර බලපෑමක් එල්ල වනවාද යන්න පැහැදිලි නොමැති බවයි.

Hong Kong විශ්වවිද්‍යාලයේ පැවැත්වූ පරීක්ෂණයකට අනුව, වැඩිහිටියන් (විශේෂයෙන්ම කාන්තාවන්) සම්පූර්ණයෙන්ම මත්පැන් පානය කිරීම අතහැරීමෙන් මාන්සික යහපැවැත්ම වැඩිකරගැනීමට හැකිවුණා. මෙම පර්යේෂණයේ ප්‍රතිඵල Canadian Medical Association Journal හි පළවූවා.

එම පර්යේෂණය පැවත්වූ පර්යේෂකයන් විසින් සහභාහීවන්නන් 10,386 ක දත්ත උපයෝගී කරගත්තා. එම පර්යේෂණයට සහභාගී වූ සියල්ලෝම මත්පැන් පානය නොකරන හෝ මද වශයෙන් පානය කරන අයයි. ඔවුන් අතර මෑතකදී මත්පැන් පානය කිරීමට පටන් ගත් අය වගේම කිසිම දිනක මත්පැන් පානය නොකරපු අයත් සිටියා.

පර්යේෂකයන් සොයාගත්තේ කිසිදු දිනක මත්පැන් පානය නොකල අයගේ මානසික යහපැවත්ම ඉතා ඉහල බවත් කාන්තාවන් ඇතුලුව මත්පැන් පානය අත්හරිනු ලැබූ අයගේ මානසික සෞඛ්‍යය ඉහල ගිය බවයි.

එම පර්යේෂණයේ සම කර්තෘ වන වෛද්‍ය Michael Ni පැවසූයේ ඔවුන්ගේ සොයාගැනීම් වලට අනුව මත්පැන් මද වශයෙන් පානය කිරීමෙන් මානසික සෞඛ්‍යය ඉහල යන බව අනුමත කිරීම් සම්බන්ධයෙන් පරිස්සම් විය යුතු බවත් මත්පැන් පානය කිරීම සම්පූර්ණයෙන්ම නැවැත්වීම මානසික යහපැවැත්ම වැඩිවීමට බලපාන බවයි.

(Medical News Today ඇසුරිනි)

ඔෂිත නාරංගොඩ