මුළු ලොවටම ව්‍යසනයක්ව පවතින කොරෝනා වෛරසය හෙවත් COVID-19 වෛරසය ශ්‍රී ලංකාව තුලද ව්‍යාප්ත වෙමින් පවතී. එය වැළක්වීම සඳහා අනුගමනය කලයුතු සෞඛ්‍ය ක්‍රමවේද වලට අමතරව නීතිමය ක්‍රමවේදයන්ද දැනසිටීම වැදගත්වේ.

මේ වන විට නිරෝධායන නීති, ඇඳිරි නීති තත්වයන් ශ්‍රීලංකාව තුල කොරෝනා රෝගය ව්‍යාප්තිය පාලනය සඳහා යොදාගෙන ඇත.

නිරෝධායනය පිලිබඳ නීති තත්වය.

රෝගී පුද්ගලයන්ගෙන් හා රෝගය ඇතැයි සැකකළ හැකි පුද්ගලයන්ගෙන් නිරෝගී පුද්ගලයන් හට රෝගය බෝවීම වැළක්වීම නිරෝධායන ක්‍රියාවලියේ අරමුණ වේ.

නිරෝධායන ක්‍රියාවලියට බාධා කරන හෝ සහය නොදක්වන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි අතර එය අපරාධමය වරදක් බව පහත පනත් මඟින් හඳුනාගනී.

  • 1897 අංක 3 දරණ රෝග වැළක්වීමේ සහ නිරෝධායනය කිරීමේ ආඥා පනත.
  • 1883 අංක 22 දරණ දණ්ඩනීති සංග්‍රහයේ 15 වන අධිකාරිය.

1897 අංක 3 දරණ රෝග වැළක්වීමේ සහ නිරෝධායනය කිරීමේ ආඥා පනත.
මෙම පනත මඟින්,

  • පුද්ගලයන් හා භාණ්ඩ නිරෝධායනයට ලක් කිරීම.
  • ජනතාව එක්රැස් වීම සිමා කිරීම.
  • ගොඩනැගිලි, නිවාස වසාදැමීම.
  • ජනතාව ප්‍රතිකර්ම සඳහා යොමුකරවීම.
  • ගුවන්යානා, බෝට්ටු තුලින් ශ්‍රීලංකාවට පැමිණි පුද්ගලයන් ආපසු හරවා යැවීම.
  • රෝගී පුද්ගලයන් ස්පර්ශ කල භාණ්ඩ විනාශ කර දැමීම.

මෙලෙස රෝගය වැළක්වීමට ක්‍රියාකිරීමේ බලතල මෙම පනතේ 3 වන වගන්තිය හරහා විෂයභාර අමාත්‍යවරයාට ලබාදී ඇත.

5 වන වගන්තිය : මෙම පනතේ සඳහන් රෙගුලාසි හෝ විෂයභාර අමාත්‍යංශය විසින් නිකුත් කරන ලඳ නියෝග සඳහා යටත් නොවන පුද්ගලයෙකුට රු. 1000 දඩයක් හෝ මාස 6ක සිරදඬුවමක් හෝ එම දඩුවම් දෙකම පැනවිය හැකිය.එමෙන්ම මෙය ඇප ලබාගත නොහැකි වරදක්වේ.

1883 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහයේ 15 වන අධිකාරිය.

මේ යටතේ වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගැනීමේ බලතල පොලිසියට පවතී.

ඇඳිරි නීතිය සම්බන්ධ නීති.

කොරෝනා රෝගය පැතිරයාම වැළක්වීම සඳහා ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 අනුව්‍යවස්ථාව යටතේ ලබාදී ඇති බලතල මත ඇඳිරි නීතිය පනවා ඇත. මෙලෙස ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවක අත්‍යවශ්‍ය හේතුවකට හැර නිවසින් බැහැරව යාම තහනම් කර ඇත. ඇඳිරිනිතිය කඩකරන ඕනෑම අයෙකු 1947 අංක 25 දරණ මහජන ආරක්ෂක ආඥා පනත යටතේ වරෙන්තු රහිතව අත්අඩංගුවට ගත හැකිය. එය මාස 6ක සිරදඬුවමක් ලැබිය හැකි ඇප ලබාගත නොහැකි වරදක්වේ

මෙලෙස නීති පැනවීමේ අරමුණ වන්නේ රට තුල රෝගය පැතිරයාම වැළක්වාගැනීමටය. නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කිරීම මෙන්ම මෙම නීතින්ටද අවනත වීම ඔබෙත් අන්අයගෙත් ජිවිත Covid-19 වෛරසයෙන් විනාශ වීම අවම කරගත හැකිය.