ආසාධිත මදුරුවකු රෝග වාහකයෙක් ලෙස ක්‍රියා කරන වෛරස් රෝගයක් ලෙස සරලව ඩෙංගු රෝගය හඳුන්වා දියහැක.

ඩෙංගු රෝගයට ගොදුරු වන පුද්ගලයන් ඇතැම් විට කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වන අතර තවත් පිරිසක් රෝග ලක්ෂණ පෙන්නුම් කරනු ලබයි.

මෙහිදී මූලිකවම දැකගත හැකි රෝග ලක්ෂණ කිහිපයකි.

1.එකවර ඇතිවන තද වෛරස් උණ
2.අධික හිසරදය
3.ඇස පිටුපස වේදනාව
4.හන්දිවල හා පේශිවල වේදනාව
5.රතු පැහැති විහිදුන ස්වභාවයේ දද
6.විදුරුමහෙන්, නාසයෙන්, ශ්ලේෂ්මල පටල හා සමෙන් ඇතැම් අවස්ථාවන්හිදී ලේ ගැලීම.

  1. කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහ උගුරේ අසාදනය වැනි ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ලක්ෂණ සහ මළ බද්ධය, පාචනය, වමනය සහ කඩින් කඩ ඇතිවන බඩේ වේදනාව වැනි ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිත රෝග ලක්ෂණ පැවැතීම.

ඩෙංගු රෝගයට ගොදුරු වූ පුද්ගලයකු මුහුණ දිය හැකි දරුණුම තත්වය වශයෙන් ඩෙංගු රක්තපාතය හඳුන්වා දියහැක. මෙහිදී ප්‍රධාන කාණ්ඩ 03ක් යටතේ රෝගීන් වර්ග කරනු ලැබේ.

01.උණ සහිත අවදිය

මෙම කාලසීමාවේදී රෝගියා තද උණකින් පීඩා විදින අතර  සතියක් පමණ මෙම තත්වය පවතී.

02.අවදානම් අවදිය

උණ බැස යනවත් සමග ඇතිවන තරලය කාන්දු වීමට පටන් ගැනීම මෙලෙස අවදානම් අවදිය ලෙස හඳුන්වයි. දින 1-2 අතර කාලයක් මෙම තත්වය පවතින අතර රෝගී ලක්ෂණ හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිකාර සිදු නොකලහොත් කම්පන තත්වයක් පවා ඇතිවිය හැක. ඩෙංගු කම්පන තත්වයේදී රෝගියාට උණ නොමැතිවූවත්, අත් පා සීතල වීම, හෘද ස්පන්දනය වේගවත් වීම සහ දුර්වල නාඩි වැටීම, අඩු රුධිර පීඩනයක් සහිත වීම ආදි ලක්ෂණ දැකිය හැක.

  1. සුවවන අවදිය

දින 2-5 ත් අතර කාලයක් පවතින අතර රෝගියාගේ කෑම රුචිය මෙම කාලය තුළ වර්ධනය වූවත් හෘද ස්පන්ධනය අඩුවේ. මීට අමතරව මෙම කාලයට  සුවිශේෂිත වූ රතු පැහැති පසුබිමේ සුදු පැහැති ලප ශරීරය පුරා ඇතිවන කැසීමක් සමග බොහෝ අවස්ථාවන්හි දැකගත හැකි අතර අත්ලේ හා පතුලේ වැඩි වශයෙන් මෙම ලප ඇති වේ. මුත්‍ර පිටවීමේ වැඩිවීමක්ද මෙම කාලයේ දැකගත හැක.

යම්කිසි රෝගියකු උණ බැසයන අවස්ථාවේ පහත රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් අනිවාර්යයෙන් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය. 

• නොනවත්වා වමනය කිරීම

• බඩේ කැක්කුම

• තද පිපාසය

• අධික නිදිමතබව

• ආහාර ප්‍රතික්ෂේප කිරීම

• අසාමාන්‍ය ලේ ගැලීම් තත්වයන් උදා: ඔසප් චක්‍රයෙදී අධික ලෙස රුධිර වහනයක් සිදුවීම, නියමිත කාලයට පෙර ඔසප් චක්‍රය සිදු වීම

• අත් පා සුදුමැලි හා සීතල බව

• නොසන්සුන්බව හා කලබලකාරී බව

• සමේ පැහැය වෙනස් වීම

• මුත්‍ර පිට නොවීම හෝ මුත්‍ර පිට වීම අවම වීම

• හැසිරීමේ වෙනස් කම් – සිහිමද ගතිය/ අසභ්‍ය වචන භාවිතය

වෛද්‍යවරයා විසින් රෝගියාගේ රෝග ලක්ෂණ  මත පදනම්ව රෝහල් ගතකළ යුතුද නැද්ද යන්න තීරණය කරන අතර පහත ලක්ෂණ වලින් යුතු රෝගීන් අනිවාර්යයෙන් රෝහල් ගත කරනු ලැබේ.

• උදරයේ ඇතිවන තද වේදනාකාරී තත්වය

• නොකඩවා පවතින වමනය

• ශ්ලේෂ්මල පටල වලින් සිදුවන ලේ ගැලීමේ තත්වයන් (මුඛයෙන්, නාසයෙන් ලේ ගැලීම)

• අලසබව හෝ නොසන්සුන් බව

• අක්මාව විශාල වීම (සෙමි 2කට වඩා)

• රුධිර ඝන වීම හා සීග්‍රයෙන් රුධිර පට්ටිකා ප්‍රමාණය පහත බැසීම

• ප්ලාස්මා තරලය කාන්දු වීම පෙන්නුම් කරන සායනික ලක්ෂණ: උරස් හා උදර කුහරයේ ප්ලාස්මාව කාන්දුවීම ( තරමක් ප්‍රමාද වී දක්නට ලැබෙන තත්වයකි)

මීට අමතරව පහත කාණ්ඩයන්ට අයත් රෝගීන්ද නේවාසික ප්‍රතිකාර සඳහා යොමු කරනු ලැබේ.

• ගර්භනී කාන්තාවන්

• වයෝවෘද රෝගීන්

•  ළදරුවන්

• අධික ස්ථුල බවකින් යුතු රෝගීන්

• දියවැඩියාව, දිගු කාලීන වකුගඩු රෝගය, හෘද රෝගය, තැලසිමියාව වැනි රුධිරය ආශ්‍රිත රෝග, සහ වෙනත් ප්‍රධාන දිගු කාලින රෝගී තත්වයන්ට ප්‍රතිකාර ලබා ගන්නා පුද්ගලයන්  

•  තනියම වාසය කරන රැක බලා ගැනීමට කිසිවෙක් නොමැති රෝගීන්, 

• පදිංචි ස්ථානයට ආසන්නව සෞඛ්‍ය පහසුකම් නොමැති හෝ සෞඛ්‍ය පහසුකම් සඳහා යාමට ප්‍රවාහන පහසුකම් නොමැති රෝගීන් 

මෙම වැසිසහිත කාලසීමාව තුළ ඔබට ඉහත සඳහන් කරනු ලැබූ යම්කිසි රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් පවතීනම් ලඟම පිහිටි රෝහල වෙත ගොස් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන්න. එමෙන්ම ඔබ ඩෙංගු රෝගියකු බව තහවුරු වුවහොත් පහත උපදෙස් නියමාකාරයෙන් පිළිපැදීමට අමතක නොකරන්න.

• වෛද්‍යවරයාගේ නිර්දේශ මත උණ වැළදී තෙවන දිනයේ දී සම්පුර්ණ ලේ පරීක්ෂාවක් සිදු කිරීම.

• හොඳින් විවේක ගැනීම.

• වැඩිපුර දියර වර්ග පානය කිරීම. වතුර පමණක් පානය කිරීම ප්‍රමාණවත් නොවන අතර කිරි, කැඳ, පලතුරු යුෂ, තැඹිලි, සුප් ආදීය පානය කළයුතුය.

• රෝගියාට ආහාර රුචිය ඇත්නම් සාමාන්‍යයෙන් ගනු ලබන ඝණ ආහාර ලබා දිය යුතුය, එහෙත් බීට් රූට්, චොකලට් වැනි රතු හෝ දුඹුරු පැහැති ආහාර හා බීම වර්ග ලබා දීමෙන් වැළකිය යුතුය. රතු හෝ දුඹුරු පැහැ ආහාර ගැනීමෙන් මලපහ සමග රුධිරය පිටවීමේ අවස්ථාවන් හඳුනා ගැනීමට බාධා ඇති වේ.

• වෛද්‍ය උපදෙස් අනුව උණ සමනය කිරීම සඳහා පැරසිටමෝල් ඖෂධය පමණක් නියමිත මාත්‍රාවෙන් ලබා ගත යුතුය.