වර්තමානයේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ බොහෝ පුද්ගලයන් ඉඩක් ඇති සෑම ස්ථානයකම කුමන හෝ වගා කටයුත්තක නිරත් වීමට උත්සාහ දරන අයුරු දැකගත හැක. එමෙන්ම මෙම කාලය තුළ පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් සිදුවන ගංවතුර තත්වයන් නිසාද මිනිසුන් ජල මූලාශ්‍ර වලට ඉතා සුලබව නිරාවරණය වන ආකාරයක් පෙන්නුම් කරනු ලැබේ.

මේ මොහොත වනවිට මීයන්ගේ මූත්‍රා මගින් බෝවන ලෙප්ටොස්පයිරෝසිස් (මී උණ) නැමැති ආසාදනය ඇති කරන බැක්ටීරියාව වගාබිම්
සහ ජල ගැලීම් තත්වයන් හට ගත් ප්‍රදේශවල ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම මේ වනවිට ජනතාව මුහුණ දී ඇති භයානකම තත්වයයි. මේ මොහොත වනවිටත් මී උණ රෝගයට ගොදුරු වූ රෝගීන් ප්‍රමාණය ඉතා විශාල ලෙස ඉහළ ගොස් ඇති ආකාරයක් දැකගත හැක.

රෝහල් වල ඖෂධ හිඟයක් පවතින මේ අවස්ථාවේ රෝග වලින් ආරක්ෂා වීමට කටයුතු කිරීම ඉතා වැදගත් වේ. ඒ අනුව රෝගයෙන් ආරක්ෂා වීමටනම් රෝග ව්‍යාප්තිය සහ අපට ගතහැකි ආරක්ෂක ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් විය යුතුය.

වෙල් උණ හෝ පතල් උණ යනුවෙන් හඳුන්වනු ලබන්නේ ද මී උණයි. මීයකුගේ හෝ ගවයකුගේ ශරීරයේ පවතින රෝග කාරක බැක්ටීරියාව ඔවුන්ගේ මූත්‍රා මාර්ගයෙන් පරිසරයට එකතු වේ. මෙහිදී ඇළ මාර්ග, කුඹුරු, දියකඩිති,කානු මෙන්ම පතල් වැනි ජලය එක්‍ රැස් වන ස්ථාන වල මෙම බැක්ටීරියා රැඳී පවතී.

මේ ආකාරයට අපවිත්‍ර වූ ජලය රැඳී ඇති ස්ථානයකට යම් පුද්ගලයකු ඇතුළු වූ විට ඔහුගේ ශරීරයේ ඇති කැපීම්, සීරීම්, තුවාල හෝ ශ්ලේෂ්මල පටල ( ඇස්, මුඛය, ලිංගාශ්‍රිත ප්‍රදේශ) හරහා මෙම රෝගකාරක බැක්ටීරියාව මිනිසාගේ සිරුරට ඇතුළු වේ.

රෝග ලක්ෂණ

ආසාදිත පුද්ගලයකු හට රෝග ලක්ෂණ මතුවන්නේ බැක්ටීරියාව ශරීර ගතවී දින 02-14 කාලය තුළදීය.
★ උණ
★ මස් පිඩු වේදනාව
★ ඇස් රතු වීම
★ හිසරදය
★ මුත්‍රා කහ පැහැ වීම
★ මුත්‍රා යාම අඩු වීම
★ වමනය
★ සිරුරේ අප්‍රාණිකත්වය

නිසි කාලයට නියමිත ප්‍රතිකාර ලබා නොදුන්නොත් රෝගියාගේ ජීව්තේ පවා අහිමිවීමට ඉඩ තිබෙනවා.මෙම ආසාදන තත්වය හේතුවෙන් පුද්ගලයාගේ  අභ්‍යන්තර අවයව වලට (වකුගඩු, අක්මාව, පෙනහළු සහ හෘදය ) හානි සිදු විය හැකියි. නමුත් මෙහිදී රෝගියාට ප්‍රතිකාර ලබාදීමට කිසිවිටෙකත් පසුබට වෙන්නෙපා.මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට බෝවන රෝගයක් නෙවෙයි.

මී උණෙන් වැලකී සිටීමට නම්..

★ රෝගයට ගොදුරුවීමේ අවදානමක් ඇති පුද්ගලයන් මෙම රෝගයේ ව්‍යාප්තිය සහ ඉන් ආරක්ෂා වීම පිළිබඳ නිසි අවබෝධයක් ලබා තිබීම

★ රෝගයට ගොදුරු වී ඇතැයි සැකයක් ඇතිකරන රෝග ලක්ෂණ පෙන්නුම් කරයිනම් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත ගොස් උපදෙස් ලබා ගැනීම.

★ ආසාධිත බැක්ටීරියාවට ශරීරයට ඇතුළුවීමට හැකියාව ඇති තුවාල පවතීනම් ජලය ඒකරාශි වන ස්ථානයන්ට නොබැසීම සහ එකී තුවාල හොඳින් ආවරණය කිරීම

★ රෝගය සඳහා ලබාදෙන ප්‍රතිජීවක ඖෂධ නිසි කලට නියමිත මාත්‍රාවෙන් ලබා ගැනීම (සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් ලබාගත හැක)

පවතින අර්බුධකාරී තත්වය හමුවේ ඔබේ ජීවිතයේ වටිනාකම ඔබ සතුයි. එබැවින් රෝග වලින් ආරක්ෂා වීමට හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම අනුගමනය කරන්න.