ඔබ පරිගණකය හෝ දුරකථනය සමග බොහෝ වේලා කටයුතු කරනු ලබන පුද්ගලයකුනම් මෙම ලිපිය ඔබට ඉතා වැදගත් වනු ඇත. මන්ද මුද්‍රණය කරන ලද පොතක් පරිශීලනය කිරීමේදී ඔබට ඔබගේ ඇස් සහ මොළය වෙහෙස කරවීමට සිදුවනවාට වඩා සහමුලින්ම වෙනස් සහ ඊට වඩා වැඩි අයුරින් මෙම ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතයේදී ඇස් සහ මොළය වෙහෙසවීමට සිදුවන නිසාවෙන්. මෙම අධික වෙහෙසකාරී තත්වය හේතුවෙන් ඔබට විවිධාකාර අපහසුතා වැලදීමට ඉඩ ඇති අතර එලෙස මතුවිය හැකි සුලබ රෝග ලක්ෂණ කිහිපයක් සහ ඒවා වලක්වා ගනිමින් ඇසෙහි නිරෝගිබව ආරක්ෂා කර ගැනීමට අනුගමනය කළ හැකි සරල විසදුම් කිහිපයක් මේ ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.

ඔබ එක දිගට පරිගණකයට හෝ දුරකථනට ඇස් යොමා වැඩ කරන පුද්ගලයකුනම් ඇසෙහි අභ්‍යන්තර පේශීන් තදවීමකට ලක්වීම හේතුවෙන් ඇස් රතුවීම, ඇස් රිදීම, හිසරදය, ද්විත්ව දර්ශනය සහ අදුරු හෝ බොඳවී පෙනීමක් ඇතිවිය හැක.

මෙවැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරනු ලබයිනම් ඉන් හැගවෙන්නේ ඔබේ ඇසට විවේකය අවශ්‍ය බවයි. කරමින් සිටින කාර්යය මොහොතකට නතර කර ඉතා දුරින් පිහිටි වස්තුවක් දෙසට අවදානය යොමු කරන්න. එමගින් ඔබේ ඇසට අවශ්‍ය විවේකය ලැබෙනු ඇත. විනාඩි 20කට වරක් මීටර් 20ක් ඈතින් පිහිටි වස්තුවක් දෙස තත්පර 20ක් බලා සිටීම ප්‍රමාණවත් වන අතර එහිදී ඈතීන් පෙනෙන ගසක් හෝ වෙනත් කොළ පැහැති යමක් දෙස බැලීමට හැකියාව ඇත්නම් වඩාත් සුදුසු වේ.

යහපත් පෙනීම
මෙහිදී ඔබගේ දෘෂ්ටි පථයට පටු සහ කුඩා දේවල් නොපෙනී යන අතර ඔබට සියුම් දෙයක් අධ්‍යයන කිරීමට අවශ්‍ය වේනම් ඒ සඳහා දැඩි වෙහෙසක් දැරීමට සිදු වේ. ඔබ පරිගණකය ආශ්‍රිත රැකියාවෙහි නිරත වූවෙක්නම් ඔබට නිරන්තරයෙන් යතුරු පුවරුව සහ පරිගණක තිරය දිහා බැලීමට සිදුවන අතර පෙනීමෙහි දුර්වලතාවක් හෙවත් අදුරු බවක් දැකගත හැකිය.

ක්‍රමයෙන් වයසට යාමත් සමග පුද්ගලයකුගේ ඇසෙහි පවතින වස්තුවක් දෙස බැලීමට සහ අවදානය වෙනස් කිරීමට ඇති හැකියාව දුර්වල වන අතර  වයස අවුරුදු 40 පසු වීමත් සමග මේ තත්වය බහුලව දැකගත හැක.

මෙවැනි තත්වයක් ඇතිවූ විගස වෛද්‍යවරයකු මුණගැසී නියමිත ප්‍රතිකාර ලබා ගැනීමටත් ඔහුගේ උපදෙස් මත පරිගණක භාවිතයේදී පාවිච්චි කිරීම උදෙසා නිර්මාණය කරන ලද කණ්ණාඩි යුගලයක් භාවිතයට ගැනීමත් සුදුසු වේ.

වියළි ඇස්

නිරන්තරයෙන් පරිගණකය දෙස බලා සිටීමෙන් ඇස්වල තෙතමනය අඩු වී ඇස් වියළීම සිදුවේ. මෙය දීර්ඝ කාලීනව සිදුවීම තුළින් පුද්ගලයාගේ ඇසට බරපතල ලෙස හානි සිදුවීම නොවැළැක්විය හැකිය. ඇසේ දැවිල්ලක් සමග ඇස් හැරගෙන සිටීම පවා දුශ්කර විය හැක.
මෙවැනි අවස්ථාවන්හිදී වේගයෙන් ඇසිපිය සැලීම, ඇසෙහි තෙතමනය රැකෙන පරිදි නිරන්තරයෙන් ඇස් පිරිසිදු ජලය යොදා සේදීම හෝ කෘත්‍රිම කඳුළු භාවිතයෙන් ඇසෙහි අහිමි වූ තෙතමනය ලබාදීමට කටයුතු කළයුතුය.

හිසරදය

බොහෝ වේලාවක්  පරිගණක තිරය දෙස බලා සිටීමෙන් පසු ඔබට හිසරදය ඇති විය හැක. මෙයට හේතුව වන්නේ පරිගණක තිරයේ ඇති අධෝරක්ත කිරණ මගින් ඇතිකරන දීප්තිමත් ආලෝක ධාරාවන් ඔබගේ ඇසට සහ හිස්කබලට ඇති කරන බලපෑමයි.

මෙලෙස ඇතිවන හිසරදයෙන් ආරක්ශා වීමට පරිගණක භාවිතයේදී පරිහරණය කිරීම උදෙසා නිපදවා ඇති කණ්ණාඩි භාවිතය මෙන්ම පරිගණක තිරයේ දීප්තිමත් බව ඇසට ගැලපෙන පරාසයක් දක්වා අඩුකර ගැනීම සිදුකළ යුතුය.

ද්විත්ව දර්ශනය (Double vision)

මෙහිදී යම් රූපයක් දෙස බැලූවිට එක සමාන රූප දෙකක් දර්ශනය වේ.මෙයටද මූලිකවම බලපානු ලබන්නේ දිගු කාලයක් පරිගණක තිරය දෙස බලා සිටීමයි.

මෙය බරපතල ස්නායු රෝගී තත්වයක් ඇතිවීමේ හෝ පෙනීම සම්බන්ධයෙන් බරපතල ගැටළු සහගත තත්වයක මූලාරම්භය විය හැකි බැවින් මෙවැනි තත්වයක් ඇතිවූ විගස  සුදුසුකම් ලත් වෛද්‍යවරයකු මුණ ගැසීම අත්‍යාවශ්‍ය වේ. පූර්ණ ඇස් පරීක්ෂාවකින් අනතුරුව සුදුසු කණ්ණාඩි යුගලයක් මිලදී ගැනීම සහ භාවිතයට ගැනීම මේ සඳහා ඇති එකම විසඳුමයි.

කොන්දේ  සහ බෙල්ලේ ඇතිවන වේදනාව

පරිගණකය ආශ්‍රිත ක්‍රියාකාරකම් වල නිරත වීමේදී ඇතිවන පෙනීමේ විවිධ ගැටළු හේතුවෙන් ඔබට ඔබේ ශරීරයේ චලන සහ ඉරියව් වෙනස් කිරීමට සිදුවේ. මෙලෙස ඉරියව් වෙනස් වීම නිසා ඔබගේ පිටුපස සහ බෙල්ල ආශ්‍රිතව වේදනා ඇතිවන අතර මේ සඳහා ඇති එකම විසඳුම වන්නේ නිවැරදි ඉරියව් පවත්වා ගැනීමට හැකිවන පරිදි පරිගණකයේ පිහිටීම වෙනස් කර ගැනීමයි. එමෙන්ම බෙල්ල සහ කොන්ද ආශ්‍රිතව පුටුවේ සිටම සිදුකළ හැකි ඇදීමේ ව්‍යායාම (Stretches) සිදුකිරීම තුළින්ද මෙම තත්වය අවම කරගත හැක.

දිනෙන් දින තාක්ෂණික වශයෙන් ඉදිරියට ගමන් කිරීමත් සමගම පුද්ගලයා පරිගණකය සමග කටයුතු කරන කාලසීමාව ඉහල ගොස් ඇති අතර ඊට සාපේක්ෂව පරිගණකය ආශ්‍රිත දෘෂ්ටි රෝගයන්ද ඉහළ ගොස් ඇත. ඔබට ඔබේ පෙනීම සම්බන්ධයෙන් වෙනදා නොදැනුන යම් වෙනස්කමක් ඇතිබව පැහැදිලි වේනම් කල් නොයවාම සුදුසුකම්ලත් දෘෂ්ටි විශේෂඥයකු හෝ අක්ෂි වෛද්‍යවරයකු මුණ ගැසී ඇස් පරීක්ෂාවක් සිදු කර ගැනීමට කටයුතු කරන්න. මන්ද ඕනෑම රෝගයක් මූළික අවදියේදී  හදුනාගැනීම තුළින් එම රෝගය සුවකිරීමට ඉහළ හැකියාවක් ඇති බැවිනි.