ශ්‍රී ලංකාවේ රුධිර පරිත්‍යාග කිරීමේ කදවුරු සුලභව ක්‍රියාත්මක වන අතර ඒවාට පැමිණෙන  රුධිර පරිත්‍යාගශීලීන් විසින් ලබාදෙන රුධිරයෙන් දිනකට විශාල ජීවිත සංඛ්‍යාවක් සුරකිනු ලැබේ.මෙසේ රුධිර පරිත්‍යාග කිරීමේ කදවුරකට පැමිණ හෝ රුධිර බැංකුවක් සහිත රෝහලකට යාමෙන් මාස හතරකට වතාවක් ඔබට රුධිරය පරිත්‍යාග කළ හැක.

රුධිර දායකයාගේ ආරක්ෂාව සහ එම රුධිරයේ ගුණාත්මක බව පවත්වා ගැනීම සඳහා නිර්ණායක කිහිපයක් රුධිර පාරවිලන මධ්‍යස්ථානය මගින් හඳුන්වා දී ඇත.

රුධිර දායකයා:

  • වයස අවුරුදු 18-60 අතර වීම
  • බර කිලෝග්‍රෑම් 50ට වඩා වැඩි වීම
  • කලින් රුධිරය පරිත්‍යාග කර තිබේ නම් එය මාස හතරක කාලයකට වඩා වැඩි වීම
  • ශරීරයේ හිමොග්ලොබින් ප්‍රමාණයක් 12g/dl වඩා වැඩි වීම (රුධිර පරිත්‍යාග කරන අවස්ථාවේදී පරීක්ෂා කරනු ලබයි)
  • දරුණු රෝගයකින් නොපෙළීම හා ගර්භණී නොවීම
  • අනන්‍යතාව තහවුරු කිරීම සඳහා හැඳුනුම්පතක් තිබීම
  • අවදානම් චර්යා වල නොයෙදීම
    • සමලිංගිකයින් වීම
    • ලිංගික සේවයේ යෙදීම
    • මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවී සිටීම
    • එක් අයකුට වඩා වැඩි පිරිසක් සමඟ ලිංගික සබඳතා පැවැත්වීම

රුධිරය පරිත්‍යාග කරන මොහොතේ දී

  • ඔබ මනා ශාරීරික සහ මානසික සෞඛ්‍ය තත්ත්වයකින් සිටිය යුතු අතර,ප්‍රධාන ආහාරවේල පැය හතරක් ඇතුළත ලබා ගෙන තිබිය යුතුය
  • පැය 6කට වඩා නින්දක් ලබා සිටිය යුතුය
  • අධික ලෙස වෙහෙස වී නොසිටය යුතුය.
  • ඔබ පරිත්‍යාග කරන රුධිරයේ,අනෙකුත් රුධිර දායකයන්ගෙ සහ සහභාගි වන නිලධාරීන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කිරීම සඳහා පිරිසුදුව ලේ දන්දීමේ කඳවුරට පැමිණි වැදගත් වේ.

රුධිරය පරිත්‍යාග කිරීමෙන්

  • කිසි විටෙක ඔබගේ බර අඩුවීම හෝ වැඩිවීම සිදු නොවේ
  • වෙනත් රෝගාබාධ ඇතිනොවේ
  • රුධිරය පරිත්‍යාග කිරීමෙන් ඔබ ලබන මානසික සුවය වෙනත් කටයුත්තකින් ලැබිය නොහැකි තරම්ය

– ජාතික රුධිර පාරවිලයන සේවයේ ප්‍රකාශනයක් ආශ්‍රයෙනි –