මේ මොහොත වනවිට  කොරෝනා රෝගයට ගොදුරු වූවත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන රෝගීන් තම නිවෙස්වලම නිරෝධායනයට ලක්කර දුරකථන මාර්ග ඔස්සේ ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය  අධීක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් සෞඛ්‍ය අංශ‍යන්හි මූලිකත්වයෙන් ආරම්භ කර තිබෙන ආකාරයක් දැක ගත හැක. මෙහිදි පුද්ගලයාට ස්වකීය අභිමතය පරිදි කටයුතු කළ නොහැකි අතර නිවෙස්ගත නිරෝධායනයට යොමු කිරීමේදී නිර්ණායක කිහිපයක් පිළිබඳ සෞඛ්‍ය අංශ අවදානය යොමු කරයි. එමෙන්ම ඊට අමතරව කොරෝනා රෝගියකුගේ පළමුපෙළ ආශ්‍රිතයන්ද  තම නිවෙස තුළම නිරෝධායනය කරනු ලබනවා.

මොකද්ද මේ නිවෙස්ගත නිරෝධායනය කියන්නේ කියලා අපි හදුන්වන්නෙ කියලා බැලුවොත් රෝගියා හෝ ආශ්‍රිතයෙකු යැයි සැක කරන පුද්ගලයා සෙසු පුද්ගලයන්ගෙන් වෙන්ව හුදෙකලා කර තම නිවසේම රඳවා තැබීම නිවෙස්ගත නිරෝධායනය ලෙස සරලව හඳුන්වා දෙන්න පුලුවන්.මෙහිදී අදාල පුද්ගලයන් අවම වශයෙන්  දින14ක් යනතුරු නිරෝධායනයට ලක් කරනු ලබනවා. මෙම කාලසීමාවේදී නිවැසියන් සියල්ලට නිවසේම රැඳී සිටීමට සිදු වෙනවා. මෙම නිරෝධායන කාලසීමාව තුළ නිවසේ වෙනත් අයකුද රෝගයට ගොදුරු වුවහොත් මෙම කාලසීමාව දීර්ඝ වේ.

මේ ආකාරයට යම්කිසි පුද්ගලයකුට සෞඛ්‍ය  අංශ විසින්  නිවෙස්ගත නිරෝධායනයට යොමු වන ලෙස උපදෙස් ලබාදුනහොත් එවැනි පුද්ගලයකුට මූලික වශයෙන් වැදගත් විය හැකි කරුණු කිහිපයක් පහත පරිදි පෙළගැස්වීමේ හැකියාවක් ඇත.

01. නිවසට වාතාශ්‍රය හොඳින් ලැබෙන පරිදි දොර ජනෙල් විවෘත කර තැබීම.

02.නිවස තුළ දි පවා එකිනෙකා අතර මීටරයක දුර පවත්වා ගැනීම

03.තම කාමරයෙන් එලියට පැමිණෙන විට මුඛ ආවරණ පැළදීම සහ  මුඛ ආවරණ ක්‍රමානුකූලව බැහැර කිරීම.

04.වෙන් කරන ලද නානකාමරයක් හෝ වැසිකිළි භාවිතා කිරීම සහ එසේ නොමැති අවස්ථාවක සබන් හෝ විශබීජනාශක යොදා එම ස්ථාන හොඳින් පිරිසිදු කිරීම.

05.පෞද්ගලික පරිහරණය උදෙසා තුවා, ඇතිරිලි,පිගන් කෝප්ප යනාදිය වෙන්කර තබා ගැනීම.

06. පිරිසිදු භාවය පිළිබඳ වැඩි අවදානයක් යොමු කිරීම. මෙහිදි නිතර දෑත් සබන් යොදා සේදීම සහ විශබීජනාශක යොදා දෑත් පිරිසිදු කිරීම ඉතා වැදගත්ය.

07.නිදන්ගත රෝගයකින් පෙළෙන හෝ වැඩිහිටියන් හැකි සෑම විටම සෙසු පුද්ගලයන්ගෙන් වෙන්ව ආරක්ශිතව සිටීම සහ බෙහෙත් නිසියාකාරව ලබා ගැනීම.

නිවෙස්ගත නිරෝධායනයට කොරෝනා රෝගියකු යොමු කිරීමේදී සෞඛ්‍ය අංශ විසින් පහත සඳහන් කරුණු කෙරෙහි විශේෂ අවදානයක් යොමු කරන බැවින් ඔබ ඉතා නිවැරදිවූත් විශ්වසනීයවූත් තොරතුරු ලබාදීමට කටයුතු කළ යුතුය.

01.සුව කළ නොහැකි රෝගීන්

02.වයස 3 ට අඩු දරුවන් සහ 60 ට වැඩි පුද්ගලයන්

03.ගැබිනි කාන්තාවන්

04.ඉඩකඩ සීමිත වීම සහ අවම සනීපාරක්ෂක පහසුකම් පැවැතීම.

05.දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘද රෝග, වකුගඩු රෝග, තරබාරුව වැනි නිදන්ගත රෝග වලින් පෙලෙන පුද්ගලයින්

06.ප්‍රතිශක්තිකරණයට ලක් නොවන (ඒඩ්ස්, ක්ෂය රෝගය) රෝග වලට ගොදුරු වූවන් හෝ ප්‍රතිශක්තිකරණය වැඩිදියුණු කිරීම සඳහා ප්‍රතිකාර ලබා ගන්නා පුද්ගලයන්

07.නිවස තුළ රැකබලා ගැනීමට පුද්ගලයකු නොමැති වීම.

08.හදිසි තත්වයක් ඇතිවුවහොත් දැනුම්දීමට ක්‍රමයක් නොමැති පුද්ගලයන් (දුරකථන සබඳතා නොමැති)

මෙම නිර්ණායකයන්ට යටත් පුද්ගලයන් හට නිවෙස්ගත නිරෝධායනයට අවසර හිමි නොවන අතර අනෙක් සියළු දෙනාට සෞඛ්‍ය අංශයේ නිර්දේශ මත නිවෙස්ගත නිරෝධායනයට අවසර හිමිවේ. කොරෝනා රෝගියකු විසින් පහත සඳහන් කරුණු කෙරෙහි  විශේෂ අවදානය යොමු කලයුතුය. රෝගියාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මෙන්ම ශ්වසන පද්ධතියද අභියෝගට ලක්වී ඇති මෙම කාලසීමාව තුළ සංකූලතා වලක්වා ගැනීම උදෙසා නිවැරදි සෞඛ්‍යාරක්ෂක උපදෙස් පිළිපැදීම අත්‍යාවශ්‍යය.

I.  ව්‍යායාම සහ ක්‍රීඩා කටයුතු වල නිරත නොවීම.

2. දිවීම, වේගයෙන් ඇවිදීම හෝ දිගු දුරක් ඇවිදීමෙන් වැලකීම.

3.පඩිපෙල භාවිතයෙන් වැලකීම.

4.දුම්පානය හා මත්පැන් පානයෙන් වැළකීම.

එමෙන්ම මෙම කාලසීමාව තුළ රෝගියා කායික මානසික යහපැවැත්ම පිලිබඳ වැඩි අවදානයක් යොමුකළ යුතුවේ.

1. ශරීරයට අවශ්‍ය උපරිම විවේකය ලබා දීම.

2. අවම වශයෙන් දිනකට ලීටර් 2-5ත් අතර ප්‍රමාණයක් ජලය පානය කිරීම.

3. පෝෂ්‍යදායී සමබර ආහාර වේලක් ලබා ගැනීම.

4.රෝග ලක්ෂණ පිළිබඳ අවධානයෙන් සිටීම.

5.හුස්ම ගැනීමේ අපහසුතාව මගහරවා ගැනීම සඳහා මුණින් අතට හැරී උදරය මත නිදා ගැනීම.

6.ශරීරයේ පවත්නා රුධිරගත ඔක්සිජන් මට්ටම පරීක්‍ෂා කර බැලීම.

යනාදි කරුණු පිලිබඳ දැඩි අවදානයක් යොමුකිරීම තුළින් මෙම රෝගයෙහි අවදානම්කාරී බව යම්තාක් දුරකට අවම කර ගතහැක. නමුත් මේ සියල්ල සිදු කරන අතරතුර රෝගියා පහත රෝග ලක්ෂණ කිසිවක් හෝ පෙන්නුම් කරන්නේනම් ඔබ වහාම ආසන්නතම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කර රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගැනීමට යොමුවීම අත්‍යාවශ්‍ය වේ. මෙහිදී ඔබ යම්කිසි ආයතනයක් හරහා වෛද්‍ය උපදෙස් ලබා ගන්නේ නම් අදාල ආයතනය හා සම්බන්ධ වී වෛද්‍ය උපදෙස් ලබා ගනිමින් රෝහල්ගත වනතුරු රෝගියාගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන්න.

1.අඩි දහයක් හෝ දොළහක් වැනි කෙටි දුරක් ඇවිද යාමේදී මහන්සියක් හෝ හුස්ම ගැනීමේ අපහසු බවක් දැනීම.

2.රෝගියාගේ රුධිරගත ඔක්සිජන් මට්ටම 96% ට වඩා අඩු අගයක් ගනීනම් ඔහුව රෝහල් ගතකල යුතුය. (pulse-oximeter නම් උපකරණය භාවිතයෙන් ඔක්සිජන් මට්ටම පරීක්ෂා කළ හැකිය)

3. පපුවෙහි බර ගතියක් හෝ පපුවේ වේදනාවක් නිතර නිතර ඇතිවීම.

4.විජලනයට ලක්වූවන් තුළ දැකගත හැකි ආකාරයට තොල කට වියළී යාම, මූත්‍රා පිටවීම අඩු වීම වැනි රෝග ලක්ෂණ පැවතීම.

5.රෝගියාගේ සිහි කල්පනාව වෙනස් වීම හා සුපුරුදු චර්යාවෙන් බැහැර වීම.

මෙවැනි අවස්ථාවන්හීදී නිසි වෛද්‍ය උපදෙස් පිළිපදිමින් රෝගියා හැකි විගස රෝහල්ගත කිරීම තුළින් ජීවිතය ආරක්ෂා කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

ඉහත දක්වන ලද්දේ නිවෙස්ගත නිරෝධායනයට ලක්වන ආශ්‍රිතයකු සහ රෝගියකු විසින් අනුගමනය කලයුතු සරලම උපදෙස් කිහිපයකි. ඔබගේ හැසිරීම සහ සෞඛ්‍යාරක්ෂක උපදෙස් පිළිපැදීමට ඇති නැඹුරුතාව තුළින් හෙට දිනයේ ඔබේත් ඔබේ ආදරණීයන්ගේත් ජීවිත වල ආරක්ෂාව ඔබටම තහවුරු කිරීමට හැකියාව ලැබෙනු ඇත.