ලොව පුරා පැතිර ඇති කොරෝනා වයිරස ආසාදනය නිසා ගැබිනි මවකට ඇතිවිය හැකි අවදානම් තත්වයන් සහ ඉන් මිදීමට ඔබ අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මේ ලිපියෙන් දැනුවත් කරන්නෙ.

කොරෝනා වෛරසය කියන්නෙ ඉතා කුඩා RNA වෛරස ගනයට අයත් වෙන වෛරසයක්. මේ වෛරසය බොහෝ විට ආසාදන ඇති කරන්නේ වෙනත් සතුන්ටයි. නමුත් මීට පෙරත් අවස්තා කිහිපයකදී මිනිසාට මේ වෛරස නිසා දරුණු රෝග තත්වයන් ඇතිවී තිබෙනව. වසර 2002 දී severe acute respiratory syndrome (SARS) තත්වයත් වසර 2012 දී Middle East respiratory syndrome (MERS) මෙවැනි කොරෝනා වෛරස නිසා ඇතිවූ තත්වයන්. නමුත් මෙවර චීනයෙන් වාර්තා වෙන වෛරසය කලින් ආසාදන තත්වයන්ට හේතුවූ වෛරසයට වඩා තරමක් වෙනස් බව සොයා ගෙන තිබෙනව. මේ  නිසා ඇතිවෙන ශ්වසන පද්ධතියේ ආසාදන තත්වයන් අනිකුත් සෙම්ප්‍රතිශාව වැනි ශ්වසන ආසාදනයන්ට වඩා දරුණු නිසයි මේ ගැන වැඩි අවධානයක් යොමුව තිබෙන්නේ. 

මෙම වෛරසය රෝගියෙකුගෙන් තවත් පුද්ගලයෙකුට බෝවීමේ ප්‍රධාන ක්‍රමය වෙන්නෙ ප්‍රශ්වාසය‍, කැස්ස, කිවිසුම් යාම සමග පිටවෙන ස්‍රාව කොටස් ආශ්වාසයට ලක් වීමෙනුයි. ඊට අමතරව රෝගියෙකු ස්පර්ශ කිරීම එකම අවකාශයක වැඩි වෙලාවක් කාලය ගත කිරීම මෙම රෝගය බෝවීමට හේතු වෙනව. නිසි පරිදි පිසීමට ලක් නොකල සත්ව නිෂ්පාදන ආහාරයට ගැනීමත් මෙම රෝගය බෝවිය හැකි ක්‍රමයක් ලෙස සැක කරනව. 

ඕනෑම ශ්වසන ආසාදන තත්වයක් ගැබිනි මවකට සංකූලතා ඇති කිරීමට ඇති හැකියාව තරමක් වැඩියි. දැනට කොරෝනා වෛරස ආසාදිත ගැබිනි කාන්තාවන් අතරින් සියයට 8කට පමණ දරුණු ආසාදන තත්වයන් ඇතිවී ඇති අතර 1%ක් අසාධ්‍ය තත්වයට පත්ව තිබෙනව. ලංකාවේ මේ පිළිබඳ ප්‍රමාණවත් විස්තර නොමැති වුවත්, පසුගිය වසර කිහිපය තුල ලංකාවේ ඉන්ෆ්ලුවෙන්සා රෝගය ගැබිනි මවුවරුන්ට බලපෑ ආකාර පිළිබඳව අපට අත්දැකීම් තිබෙනව. ඉන්ෆ්ලුවෙන්සා රෝගය නිසා මාතෘ මරණ රැසක්ම ලංකාවෙන් වාර්තා වූ බව ඔබ දැනුවත් ඇති. මේ නිසා ගර්භණී ඔබ මෙවැනි ආසාදන තත්වයන් ගෙන් වැලකී සිටීමට හැකි උපරිම උත්සාහ ගත යුතුයි. ඒ සඳහා පහත උපදෙස් පිළිපදින්න.

1.       වැඩිපුර සෙනග ගැවසෙන ස්ථාන වලට යෑමෙන් වළකින්න.

2.       සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස, උණ හෝ එවැනි රෝග ලක්ෂණ සහිත පුද්ගලයින්ගෙන් ඈත් වී සිටින්න.

3.       වන සතුන් සහ ඇති කරන සතුන් ඇල්ලීමෙන් හෝ සමීපයට යාමෙන් වළකින්න.

4.       සත්ව ආහාර හොඳින් පිසීමෙන් පසු පමණක් ආහාරයට ගන්න.

5.       සැමවිටම සබන් යොදා අත් සෝදන්න. එසේ කිරීමට අපහසු අවස්ථාවලදී ඇල්කොහොල් අඩංගු පිරිසිදු කාරක තවරනයක් අත්වල තවරා පිරිසිදු කරගන්න.

6.       ඇස්, නාසය සහ මුඛය ඇල්ලීමෙන් වළකින්න.

7.       ඔබට රෝගීන් ගැවසෙන ස්ථානයකට යෑම අත්‍යවශ්‍ය නම් මුඛ ආවරණයක් පලඳින්න.

8.       ඔබට සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණයක් ඇති නම් වෙනත් ගැබිනි මව්වරු සමීපයට යෑමෙන් වළකින්න.

9.       කැස්ස සහ කිවිසුම් යාම ඇති විට නාසය සහ මුඛය වැළමිටෙන් හෝ ටිෂූ එකකින් වසා ගන්න. එලෙස භාවිතා කරන ටිෂූ ඉක්මනින් ආරක්ෂිතව බැහැර කරන්න. ඉන් පසු ඔබේ අත් සබන් යොදා සෝදා ගන්න.

ඔබට කිසියම් උණ හෝ කිසියම් ශ්වසන ආසාදන තත්වයක් ඇති බවට සැකයක් ඇති නම් හැකි ඉක්මනින් රජයේ රෝහලකට ගොස් පරීක්ෂා කරවා ගන්න. 

ගර්භණී සමයේ ශ්වසන පද්ධතිය ආශ්‍රිත ආසාදන ඉක්මනින් නියුමෝනියා තත්වයට වර්ධනය වීමට හැකි නිසා ගැබිනි මවුවරුන් ඉහත උපදෙස් පිළිපැද ඉන් මිදීමට උත්සාහ කිරීම ඉතා වැදගත් වෙනව. 

කොරෝනා රෝගයෙන් ආරක්ෂා වීමට ගැබිණී ඔබට උපදෙස්

වර්තමානය වන විට කොරෝනා රෝගයේ විවිධ ප්‍රභේදයන් ලංකාව තුළ ව්‍යාප්ත වී ඇති ආකාරයක් අපට දැක ගන්න පුළුවන්. මේ මොහොත වන විට මෙම රෝගයේ භයානකත්වය පිළිබඳ අප සියළු දෙනා ඉතා හොඳින් දැනුවත්. ඉතා කුඩා වෛරසයක් වන මේ මගින් පුද්ගලයාගේ ශ්වසන පද්ධතියට ඇති කරනු බලපෑමනම් කුඩා නැහැ. මීට පෙර සොයා ගන්නා ලද බොහෝ වෛරස් ශ්වසන පද්ධතියට බලපෑම් කරනු ලැබුවත් 2020 වසරේ දී චීනයෙන් හමු වූ මෙම වෛරසය මගින් ශ්වසන පද්ධතියට සිදුකළ දැඩි බලපෑම හේතුවෙන් මුළු ලොකයේම අවදානය මෙම නව කොරෝනා වෛරසයට යොමු වෙනවා.

ආසාදිත පුද්ගලයකු විසින් බැහැර කරන වෛරස කොටස් තවත් අයෙකුගේ ශරීරයට ඇතුල් වීම තුළින් මෙම රෝගය ව්‍යාප්ත වේ.  ඇතැම් අවස්ථාවන්හී දී  රෝග ලක්ෂණ නොපෙන්වීම හේතුවෙන් මෙම රෝගයට ගොදුරු වී ඇති පුද්ගලයන් විසින් තව බොහෝ පිරිසකට මෙම රෝගය ව්‍යාප්ත කරන ආකාරයක් දැක ගත හැකි වෙනවා. මෙම රෝගයට ගොදුරු වීමේ සහ සංකූලතා ඇතිවීමේ ඉතා ඉහළ සම්භාවිතාවක් ඇති කාණ්ඩ කිහිපයක් හඳුනා ගත හැකි අතර ගැබිණි ඔබ ඒ් අතරින් මූලික ස්ථානයක් ගනු ලබනවා.

ගැබිණී ඔබට මෙම වෛරසයෙන් ඇති කරන බලපෑම අප හිතනවාට වඩා සංකීර්ණ බව මතක තබා ගන්න. මෙම කාලසීමාව තුළ ඔබේ ශරීරය විවිධාකාර වෙනස්කම් වලට ලක්වන කාලසීමාවක්. ඒ් වගේම මෙම නව වෙනස්කම් වලට ශරීරය හැඩ ගැසෙන වෙලාවේ ඔබට යම්කිසි ශ්වසන ආසාදන තත්වයක් ඒහෙම නැත්නම් සරලවම කිවහොත් හුස්ම ගැනීම සම්බන්ධ කිසියම් අර්බුධකාරී තත්වයක් ඇති වුවහේත් සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා වැඩි සංකූලතාවයන්ට මුහුණ දීමට ඔබට සිදු වෙනවා. ගැබිණි ඔබේ ශ්වසන ආසාදන තත්වයන් ඉක්මනින් නිව්මෝනියා තත්වයක් කරා වර්ධනය වීමට ඉහළ සම්භාවිතාවක් පැවතීම ඊට මූලිකම හේතුවයි.

මේ වනවිට ලංකාවෙන් වාර්තා වන කොරෝනා රෝගයට ගොදුරු වූ ගැබිණි කාන්තාවන්වන්ගෙන් 8%කට පමණ දරුණු ආසාදන තත්වයන් ඇති අතර තවත් 1% ක් අසාධ්‍ය තත්වයේ පසුවන ආකාරයක් දැකගන්න පුළුවන්. කායික හා මානසික වශයෙන් අභියෝගාත්මක මෙම කාලසීමාව තුළ ඔබම ඔබේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට කටයුතු කිරීමෙන් ඔබේත් මෙලොව ඒළිය දකින්නට සිටින ඔබේ දරුවාගේත් සුරක්ෂිතතාාව තහවුරු කර ගත හැක. ඒ් සඳහා ඔබ  කළ යුත්තේ ඉතා සරල පියවර කිහිපයක් අනුගමනය කිරීම පමණි.

  • සෙනග ගැවසෙන ස්ථාන වලින් හැකිතාක් ඉවත්ව සිටිම.
  • නිවසින් බැහැරව යන්නේ නම් මුණ ආවරණ නිසියාකාරව පැළදීම.
  • සෑම විටම සබන් යොදා දෑත් පිරිසිදු කිරීමටත් ඒසේ කළ නොහැකි අවස්ථාවන්හි විශබීජනාශක දියර යොදා දෑත් පිරිසිදු කර ගැනීම.
  • නිවසින් බැහැරව ගොස් නැවත පැමිණි විගස හොඳින් පිරිසිදු වීම.
  • උණ, සෙම්ප්‍රතිශ්‍යාව හා කැස්ස වැනි රෝගයන්ගෙන් පීඩා විදින පුද්ගලයන්ගෙන් ඈත්ව සිටීම.
  • ඔබට ඒවැනි රෝග ලක්ෂණ ඇත්නම් සෙසු පුද්ගලයන්ගෙන් ඈත්ව සිටීම.
  • කැස්ස හෝ කිවිසුම් අවස්ථා වලදී අතෙහි වැලමිට ආදාරයෙන් මුව ආවරණය කර ගැනීම සහ පිරිසිදු ටිෂු භවිත කිරීම
  • පරිහරණය කරන ලද ටිෂු සහ මුභ ආවරණ නිසියාකාරව බැහැර කිරීම.

මේ අකාරයට සෞඛ්‍යාරක්ෂක උපදෙස් පිළිපදින අතරතුරේ ඔබට කොරෝනා රෝගය වැළදී ඇතැයි සැක හිතෙන යම්කිසි රෝග ලක්ෂණයක් පහළ වුවහොත් වහාම පවුල් සෞඛ්‍ය නිලධාරිණිය හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කර අදාල පරීක්ෂණයන් සිදු කර ගැනීමට කටයුතු කරන්න.

රෝගය මුල් අවස්ථාවේම හඳුනා ගැනීමට කටයුතු කිරීම තුළින් නිසි අධීක්ෂණය යටතේ අවශ්‍ය වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා ගැනීමට හැකිවන නිසා ගැබිණී ඔබේත් නූපන් දරුවාගේත් ජීවිත ආරක්ෂා කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.