කොවිඩ් 19 වසංගත සමය තුළදී ලෝක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව මෙන්ම සැමට සමාන වූ සෞඛ්‍ය සේවාවක් ලබා ගැනීමට ඇති නොහැකියාව සම්බන්ධයෙන් පුළුල් වශයෙන් සාකච්ඡාවට ලක්විය.

ලොව ජීවත් වන මිනිසුන්ගේ යහපැවැත්ම තීරණය වනුයේ දේශපාලන, සමාජීය සහ වාණිජ තීරණ මත පදනම්ව වන අතර පුද්ගලයා ආශ්වාස කරනු ලබන වාතයේ සිට පරිභෝජනයට එක්කර ගන්නා ආහාරයන්ගේ ප්‍රමිතිය තීරණය කිරීමටද ඉහත දක්වන ලද තීරණ මගින් ඇති කරන බලපෑම සුළුපටු නොවේ.

බහුතරයක් දෙනා ෆොසිල ඉන්ධන භාවිතයට ගන්නා අතර මේ ඔස්සේ ගෝලීය උෂ්ණත්වයට දැඩි බලපෑමක් සිදු කරයි.දිනෙන් දින ඉහළ යන ගෝලීය උෂ්ණත්වය හමුවේ ග්ලැසියර දියවීම තුළින් සාගර ජල මට්ටම වැඩිවී දූපත් යටවීමට අමතරව පානීය ජල මූලාශ්‍ර වලට ලවණ එක්වීමක් සිදු වේ..මේ හරහා පිරිසිදු ජලය ලබා ගැනීමට ඇති හැකියාව බොහෝ මිනිසුන්ට අහිමි වේ. එමෙන්ම තම වාසස්ථාන අහිමි වීමෙන් සෞඛ්‍ය තත්වය පිරිහීමට ලක්වේ.

එමෙන්ම විවිධ රසායනික ද්‍රව්‍යය යෙදූ ක්ෂණික සහ කෙටි ආහාරයන් පරිභෝජනයට ගැනීමට ඇති නැඹුරුතාව ඉහළ යාමත් සමග කෙටි කාලීන මෙන්ම දිගු කාලීන රෝගාබාධයන්ට ගොදුරු වන පුද්ගල ප්‍රතිශතය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති ආකාරයක් දැකගත හැකිය. පිළියෙල කිරීමේ පහසුව සහ රසවත් බවින් ඉහළ වූවත් මෙවැනි ආහාරයන් නිශ්පාදනයේදී යොදා ගන්නා රසායනික ද්‍රව්‍යය ශරීරයට ඉතා අහිතකරය. මේ හේතුවෙන් කුඩා දරුවන් පවා අධික තරබාරුව, පිළිකා තත්වයන් මෙන්ම දියවැඩියාව ආදී රෝග වලින් පීඩා විදින අයුරු දැක ගත හැක.

එමෙන්ම සියදිවි හානිකර ගැනීමේ ප්‍රතිශතය ඉහළ ගොස් ඇති අතර පුද්ගලයන්ගේ මානසික සංවර්ධනය වැඩිදියුණු කිරීමට නිශ්චිත ක්‍රමවේදයක් නොමැති වීම මේ සඳහා හේතු වී ඇත.

ඉහත දක්වන ලද සියළු ගැටළු විසඳා ගැනීමට නම් දිගුකාලීන සැලැස්මක් මත පදනම්ව පුද්ගල සෞඛ්‍ය නංවාලීමට කටයුතු කළයුතුය. එහිදී කායික යහපැවැත්ම මෙන්ම පුද්ගලයාගේ සමාජීය සහ  මානසික සෞඛ්‍ය නංවාලීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සිදුකළ යුතු වේ.