පෙනහළු ආශ්‍රිත රෝගී තත්වයක් වන බැවින් හුස්ම ගැනීමේ අපහසුව, හුස්ම හිරවීම, පපුවේ තද ගතිය සහ රාත්‍රියේ හෝ අලුයම කැස්ස ඇතිවීම ඇදුම රෝගයට ගොදුරු වූවෙකුගේ මූලිකවම දැකිය හැකි රෝග ලක්ෂණ වේ. ළමුන් අතර ඉතාමත් සුලබ රෝගී තත්වයක් වන මෙම රෝගය වැඩිහිටියන් අතරද දැකගත හැක.

යම් නිශ්චිත හේතුවක් පැවසීමට නොහැකි වූවත් එක් වරක් මෙම රෝගයට ගොදුරු වූවකුගේ ජීවිත කාලය පුරාම මෙම රෝගය පවතී. නමුත් එමගින් ඔහුගේ සාමාන්‍ය දින චර්යාවට බාධාවක් ඇති නොවේ.

• ඔබේ සමීපතම නෑදෑයෙකුට ඇදුම රෝගය තිබීම.

• පරිසරයේ ඇති පුස් හෝ තෙතමනය වැනි දේවලට නිරාවරණය වීම

• දූවිලි, දුම්, සත්ව ලෝම ආදියට ඇති අසාත්මිකතාව

• වායු දූෂණය

• වෛරස මගින් සිදු වන පෙනහළු ආසාදන

• රැකියා ස්ථානයේදී දුම, ලීකුඩු, පුස් සහ රසායනික ද්‍රව්‍යය ආදියට නිරන්තරයෙන් නිරාවරණය වීම හේතුවෙන්

ඉහත දක්වන ලද ජානමය, පාරිසරික සහ වෘත්තීය සාධකයන්ට ගොදුරු වීමෙන් ඇදුම රෝගය වර්ධනය වන අතර එමගින් ඇදුම රෝගීයාට ඇති කරන බලපෑම බරපතල විය හැක.

ඔබට ඇදුම රෝගය තිබේදැයි පරීක්ෂා කර ගන්නේ කෙසේද?

මෙහිදී වයස අවුරුදු 5ට අඩු දරුවන්ගේ රෝගී තත්වය නීර්ණය කිරීම තරමක් අපහසු වේ. සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හරහා පෙනහළු කෙතරම් හොඳින් ක්‍රියා කරයිද යන්න පරීක්ෂා කරවා ගැනීම තුළින් මූලිකවම ඔබට ඇදුම රෝගය තිබේද යන්න දැනගත හැක. මෙහීදී වෛද්‍යවරයා පහත කරුණු පිළිබඳ වැඩි අවදානයක් යොමු කරණු ඇත.

• රාත්‍රියේ පවතින අධික කැස්ස

• ශාරීරික ක්‍රියාකාරකම් වලින් පසුව හෝ අවුරුද්දේ ඇතැම් කාලවලදී ඇතිවන හුස්ම ගැනීමේ ගැටළු

• පපුවේ තද ගතිය, හුස්ම හිරවීම

• දින 10 කට වඩා වැඩි කාලයක් පවතින සෙම්ප්‍රතිශ්‍යාව

• ඔබේ පවුලේ කිසිවකුට ඇති ඇදුම, අසාත්මිකතා හෝ වෙනත් හුස්ම ගැනීමේ අපහසුතා

• එදිනෙදා කාර්යයන් ඉටු කිරීමට ඇති හැකියාව

මේ කරුණු මත පදනම්ව ඔබ ඇදුම රෝගයට ගොදුරු වී ඇත්ද යන්න නිගමනය කර අදාල ඖෂධ ලබාදීම සිදු කරනු ලබයි. එහිදී ඔබේ පෙණහළු ක්‍රියාකාරිත්වය සොයා බැලීම සඳහා වෛද්‍යවරයා විසින් ස්පිරෝමෙට්‍රි නම් හුස්ම ගැනීමේ පරීක්ෂණය සිදු කිරීමට ඉඩ ඇත. එහිදී ඖෂධ භාවිතා කිරීමට පෙර සහ පසුව ඉතා ගැඹුරු හුස්මක් ගැනීමෙන් පසු ඔබට කොපමණ වාතය පිට කළ හැකිද යන්න පරීක්ෂා කර බලයි.

ඇදුම රෝගය උත්සන්න වීම යනු

පුද්ගලයකුට හදිසියේ ඇතිවන නොනවතින කැස්ස, පපුවේ තද ගතිය සමග ඇතිවන හුස්ම හිරවීම සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇදුම රෝගය උත්සන්න වීම ලෙස සරලවම හැදින්විය හැක. මෙහිදී පෙනහළු සඳහා වාතය ගෙනයනු ලබන ශ්වසන මාර්ගය අවහිර වේ. එමනිසා ශරීරයේ ක්‍රියාකාරිත්වයට අත්‍යාවශ්‍ය වාතය නිසියාකාරව නොලැබී යාමෙන් ශරීරය අක්‍රීය වේ. මෙය බරපතල තත්වයක් වන අතර රෝගීයාගේ ජීවිතය පවා නැතිවීමට ඉඩ ඇත.

රෝග පාලනය

ඇදුම රෝගය යනු නිසි දැනුවත්භාවයකින් යුතුව කටයුතු කලහොත් පාලනය කලහැකි රෝගී තත්වයකි.

•  රෝග වර්ධනයට හේතුසාධක හැකිතාක් මගහරවා ගැනීමට කටයුතු කිරීම.

• වෛද්‍යවරයා නියම කර ඇති පරිදි  ඖෂධ ලබා ගැනීම.

මෙහිදී අමතක නොකළ යුත්තේ පුද්ගලයාගෙන් පුද්ගලයාට ඖෂධ වර්ගය සහ මාත්‍රාව වෙනස් වන බවයි. ඇතැම් ඖෂධ පෙති ලෙසත් තවත් ඒවා ඉන්හෙලර් ලෙසත් දැකගත හැකිය. ඖෂධ ලබා ගන්නා ඇතැම් අවස්ථාවන්හීදී අතුරු ආබාධ තත්ත්වයන්  ඇති වූවත් ඒවා ඉක්මනින් පහව යන බරපතල නොවන තත්ත්වයන් වන බැවින් ඖෂධ ලබා ගැනීමට බියවිය යුතු නොවේ.

• ඔබට රෝග ලක්ෂණ නොමැති විට පවා ඔබේ දිගු කාලීන පාලන ඖෂධ ලබා ගැනීම. ඔබ ඇදුම රෝගයට ගොදුරු වූවෙක්නම් එය ඔබගේ එදිනෙදා කටයුතු වලට බාධාවක් කර නොගන්න. මන්ද ඇදුම යනු ඔබට පාලනය කළහැකි රෝගී තත්වයකි. ඉහත දක්වන ලද ආකාරයට සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගේ උපදෙස් මත කටයුතු කරමින් අවදානම් සාධක මගහැරීම තුළින් ඔබට ඔබේ එදිනෙදා ජීවිතයේ වැඩකටයුතු සාර්ථක කරගත හැකි බව මතක තබා ගන්න