සෑම වර්ෂයකම මැයි මස 31 වන දිනට ලෝක දුම්වැටි විරෝධී දිනය යෙදී ඇත.  දුම්කොළ සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන හෘද රෝග සඳහා සෘජුවම මග පාදන අතර නිරෝගි බව අපේක්ෂා කරන ඔබ දුම්කොළ අශ්‍රිත නිෂ්පාදන භාවිතයෙන් ඉවත්වීම අනිවාර්යයෙන් සිදුකළ යුතුය.

ඔබ දන්නවාද දුම්කොළ ආශ්‍රිතව නිෂ්පාදන භාවිතයෙන් ඔබේ සිරුරේ සෑම ඉන්ද්‍රියයක්ම රෝගී වන බව.  හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇතිවී ඔබ ප්‍රතිකාර සඳහා යොමු වූ විට වෛද්‍යවරයාගේ පළමු  පැනය වන්නේ ” ඔබ දුම්පානය කරනවාද ”  යන්නයි. එමෙන්ම කැස්සත් සමග ලේ පිටවීම, පපුවෙහි ඇතිවන වේදනාව ආදී තත්ත්වයන්හීද වෛද්‍යවරයා යොමු කරනු ලබන පළමු ප්‍රශ්නය වන්නේද එයයි.

චිත්‍රපට සහ කතාන්දර වල ඉතා සිත්ගන්නා ආකාරයට පෙන්වනු ලැබූවද දුම්වැටි හේතුවෙන් ශරීරයට ඇතිකරන බලපෑමනම් සුන්දර හෝ සුළුපටු වෙන්නෙ නැහැ.

දුම්වැටි නිශ්පාදනයේදී මූලිකවම දුම්කොළ යොදා ගන්නා අතර, එමගින් හෘද රෝග පමණක් නොව පිළිකා තත්ත්වයන් ද ඇති කරනවා. මේ හේතුවෙන් ලොවපුරා ඉතා විශාල සංඛ්‍යාවක් මියයනවා. මෙරට තුළ පමණක් එය වාර්ෂිකව 20000ක් පමණ වෙනවා.

පෙනහළු පිළිකා තත්වයන්ට මූලික වශයෙන්ම හේතු වන්නේ දුම්වැටි භාවිතයයි. මීට අමතරව පෙනහළු බිත්ති තුළ දුම් බැඳීම හේතුවෙන් ඇතිවන හුස්ම ගැනීමේ අපහසුතා, මුඛ පිළිකා තත්වයන් ආදිය දැකගත හැකියි. දුම්වැටි භාවිතයට දැඩිලෙස නැඹුරු වූ පුද්ගලයකු මදසරුභාවයට පත්වීමේද ඉහළ හැකියාවක් පවතිනවා.

දුම්වැටි ආදී නිෂ්පාදනයන්ට වැඩි නැඹුරුතාවක් දක්වන්නේ පිරිමි පාර්ශවයන්. ඔබේ පියා, සැමියා හෝ සහෝදරයා අධික ලෙස දුම්පානයට හුරු වීම හේතුවෙන් රෝගියකු බවට පත්වුවහොත් එය ඔහුට පමණක් නොව පවුලේ සියළුදෙනාටම දැඩි බලපෑමක් එල්ල කරනු ලබනවා.

පවුලේ ආර්ථිකය රඳා පවතින සැමියා හෝ පියා හෘද රෝගියෙක්නම් ඔහුට පෙර පරිදි කය වෙහෙසා වැඩ කිරීමට නොහැකි වීම, කුඩා වැඩක නිරත වූවත් අධික මහන්සියක් දැනීම මෙන්ම ඇදවැටීමකට ලක්වුවහොත් අංශභාගයට ගොදුරු වීමේ දැඩි අවදානමක් පැවතීම නිසාවෙන් සුපුරුදු ජීවන රටාවෙන් බැහැරව ඉතාමත් කල්පනාවෙන් තම දෛනික වැඩකටයුතු වල නිරතවීමට සිදු වෙනවා.

මෙවැනි තත්වයක් තුළදී නිරන්තරයෙන්ම එකී පවුල්වල සාමාජිකයන් මානසික, ආර්ථික මෙන්ම සමාජීය වශයෙන් දැඩි පීඩාවකට පත්වීම වැළක්විය නොහැක.

ඔබගේ සහ ඔබේ ප්‍රියයන්ගේ ජීවිත වල සතුට, කාලය වගේම මුදල්  ආරක්ෂා කර ගැනීමටනම් ඔබ නිරෝගීව සිටීම ඉතා වැදගත්. ඒ නිරෝගී බවට හානි පමුණුවන දුම්කොළ අශ්‍රිත නිෂ්පාදන භාවිතයෙන් වළකිමු.