මේ වනවිට අපේ අසල්වැසි ඉන්දියාව ඇතුළු රටවල් 75ක පමණ මෙම රෝගය ව්‍යාප්තව පවතින අතර 16,000කට අධික රෝගීන් ප්‍රමාණයක් මේ වනවිට වාර්තා වී ඇත්තේ මරණ 05ක්ද සමගිනි.
මේ නිසාම ලෝක සෞඛ්‍ය සංවිධානය මෙය ‘ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි තත්වයක්’ (Public Health Emergency of International Concern) ලෙස ප්‍රකාශයට පත් කරන්නට කටයුතු කලා.

මෙම රෝගකාරක වෛරසය පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකු වෙත ඇතුළු වියහැකි මූලික ආකාර කිහිපයකි. ආසාදිත තරලයන් මගින් මූලිකවම ව්‍යාප්ත වන මෙම රෝගය ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් නොවන බවට තහවුරු කර ඇත.

★ ආසාදිත පුද්ගලයෙකු සමඟ ඉතා සමීප ආශ්‍රය
★ රෝගය නිසා ඇතිවන බිබිලි හා තුවාලවල තරල මෙන්ම අනෙකුත් ශාරීරික තරල සඳහා නිරෝගී පුද්ගලයකු නිරාවරණය වීම.
★ අසාදිත ශ්වසන බිඳිති වලට ගොදුරු වීම.
★ ආසාදිතයා මෑතක දී භාවිතා කල ඇඳ ඇතිරිලි තුවා වැනි වෛරසය අඩංගු ද්‍රව්‍යය පාවිච්චිය

ආසාදිත පුද්ගලයකුට නිරාවරණය වී දින 5 – 21 අතර කාල සීමාව තුළදී රෝග ලක්ෂණ පහළ වීමට පටන් ගන්නා අතර

★ උණ
★ වසාගැටිති ඉදිමීම
★ මස් පිඩු වේදනාව
★ ශරීරයේ දැඩි විඩාපත් බව
★ බිබිලි

මෙහි දී මූලික වශයෙන් දැකගත හැකි  රෝග ලක්ෂණ වේ.

මූලිකම රෝග ලක්ෂණය වන උණ ගතිය ඇති වී දින 1-3 ගත වනවිට බිබිලි හටගැනීම සිදුවේ.මෙහිදී මුහුණ, දෑත් සහ පතුල්වල බහුල ලෙස මෙම බිබිලි හට ගන්නා අතර ඇතැම් අවස්ථාවන්හිදී  මුඛය, ලිංගික ප්‍රදේශ සහ ඇස් ආශ්‍රිත ශ්ලේෂ්මල වලත් වේදනාකාරී බිබිලි / තුවාල හටගන්න අවස්ථාව තිබෙනවා.
පැල්ලම් ලෙස මතුවී,  බිබිලි , ගැටිති සහ දිය පට්ටා හෝ සැරව බිබිලි බවට පත්වෙන මෙම බිබිලි සුව වන විට සම මතුපිට කබොල්ලක් සෑදෙන අතර ඒවා ද සම්පූර්ණයෙන් හැලී යෑමෙන් පසුව ආසාදනය සුව වී ඇති බව නිගමනය කල හැකි වනවා.

ලංකාවේ ඔබට හුරුපුරුදු  පැපොල / අත් – පා – මුඛ රෝගය වැනි වෛරස ආසාදන වලදීත් මෙම රෝග ලක්ෂණ දැකගත හැකි බැවින් ඉහත දක්වන ලද රෝග ලක්ෂණ පහළ වූ වහාම සෙසු පුද්ගලයන්ගෙන් වෙන්වී සිටීමට මෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කිරීමද ඉතා වැදගත්.

මෙම රෝගය සති 2-4ත් අතර කාලසීමාව තුළදී ඉබේම සුවපත් වී ගියත් ප්‍රතිශක්තිකරණ පිළිබඳ යම් ගැටළු සහගත තත්වයක් පවතින පුද්ගලයන් හට මෙන්ම කුඩා දරුවන්ටද සංකූලතා ඇතිවීමේ අවදානමක් ඇත. මෙම රෝගය ව්‍යාප්ත වීමේ වේගය අඩුවීම හේතුවෙන් නිසි වෛද්‍ය උපදෙස් පිළිපැදීම තුළින් රෝගය පාලනය කිරීමේ හැකියාවක් ඇත.
එබැවින් ඔබත් මෙම වෛරසය වසංගතයක් නොවීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීමට කටයුතු කරන්න.