බෙහෙත් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ හිගවීම අපට දිනපතා අසන්නට ලැබෙන ප්‍රවෘත්ති අතරින් ප්‍රධාන වේ. රෝහල් තුළ  අත්‍යාවශ්‍ය බෙහෙත් ද්‍රව්‍යය හිඟයක් පැවතීමත්, ඔසුසල් වලින් ඖෂධ මිලදී ගැනීමේදී පෙර වැයකළ මුදල මෙන් දෙතුන් ගුණයක මුදලක් ගෙවීමට සිදුවීමත් හේතුවෙන් ජීවන වියදම ඉහළ ගොස් ඇති මේ අභියෝගාත්මක කාලසීමාව තුළ රෝගයක ගොදුරක් වීමට පෙර ඉන් ආරක්ෂා වීමට ගතයුතු සෑම ක්‍රියාමාර්ගයක්ම අනුගමනය කිරීම ඉතාම වැදගත්.

ඒ අතරින් මේ වනවිට බහුලව සාකච්ඡාවට ලක්වන ජලභීතිකා රෝගයෙන් ආරක්ෂා වීමට අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග කවරේද යන්න පිළිබඳ අද මෙම ලිපිය මගින් ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

අදවන විට බොහෝදෙනා තම  නිවසෙහි  සුරතලයට බල්ලන්, බළලුන් ඇතිකිරීම ඉතා සුලබව සිදුවන්නක්. මෙම සතුන්ට අමතරව ලේනුන්, වඳුරන් සහ වවුලන් වැනි ක්ෂීරපායී සත්වයෙකුට රේබීස් වෛරසය ආසාදනය වී ඇති විටෙක, ඔවුන් පුද්ගලයකු සපා කෑවොත් එම පුද්ගලයාට ජලභීතිකා රෝගය වැලදීමට අවස්ථාව තිබෙනවා. බොහෝ අවස්ථාවන්හීදී මෙලෙස සපාකෑමට ලක්වූ පුද්ගලයා එන්නත්කරණයට ලක්කිරීමෙන් ශරීරයට ඇතුළු වූ වෛරසය අඩපණ කිරීමට හැකියාව ලැබුනත් ඇතැම් අවස්ථාවන්හිදි එය සාර්ථක ප්‍රථිඵල ලබා දෙන්නේ නැහැ. මෙම වෛරසය මගින් ඔබගේ මොළය හා සුසුම්නාව දක්වා ගමන් කිරීම නිසාවෙන් ඔබගේ ස්නායු පද්ධතියට සිදුවන හානිය ඉතා විශාලයි. දින 05ත් අවුරුදු 02ත් අතර කාලසීමාව තුළදී ජලභීතිකාවට අදාල රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර රෝග ලක්ෂණ මතුවී දින කිහිපයක් ඇතුළත රෝගියා මරණයට පත්වීම මෙහි ඇති අවදානමයි.

දිනෙන් දින අත්‍යාවශ්‍ය බෙහෙත් ද්‍රව්‍යය හිඟවීමක් තිබුණද මේ මොහොත වනවිටත් පශු වෛද්‍ය සේවාවන් හරහා සුරතල් සතුන් උදෙසා ජලභීතිකා රෝගය වළක්වාලීමට අවශ්‍ය එන්නත් ලබාදීම සිදුකරනවා.

ඔබේ නිවසෙහි ඇති කරනු ලබන සුරතලාට මූලික එන්නත ලබාදීමෙන් අනතුරුව වාර්ෂිකව බූස්ටර් එන්නත ලබාදීමට කටයුතු කිරීම ඉතාමත් වැදගත්. මේ තුළින් ජලභීතිකා රෝගයට එරෙහිව ඔබේ සුරතලාගේ ප්‍රතිශක්තිකරණ වර්ධනය වන අතර ඒ තුළින් ඔබේ නිවස තුළදී ජලභීතිකා රෝගයට ගොදුරුවීමේ අවදානම අවම වී යනවා.

ඒ වගේම තමයි නිවස තුළ ඇති කරන සත්වයන්ගෙන් මෙම රෝගය ව්‍යාප්ත වීම වලක්වා ගැනීමට අනුගමනය කළයුතු සෑම පියවරක්ම අනුගමනය කිරීම ඉතාමත් වැදගත්. එහිදී පවුලේ සාමාජිකයන් සමග නිරන්තරයෙන් ගැවසෙන සුරතලා දඩාවතේ යාමෙන්ද ආරක්ෂා කරගැනීම කෙරෙහි ඔබගේ විශේෂ අවදානයක් යොමු කරන්න.

මේ ආකාරයට කටයුතු කිරීම තුළින් ඔබට මෙම මාරාන්තික ජලභීතිකා රෝගයෙන් ආරක්ෂා වීමටත් නිවස තුළ ආරක්ෂාකාරී වටපිටාවක් නිර්මාණය කරගැනිමටත් හැකියාව ලැබෙනු ඇත.