හෘද රෝග (CVD) හේතුවෙන් ලොවපුරා වාර්ෂිකව මිලියන 18.6කට ආසන්න පුද්ගලයන් සංබ්‍යාවක් මියයන බව ඔබ දන්නවාද? CVD යනුවෙන් හඳුන්වනු ලබන්නේ හෘදයට හෝ රුධිර නාලවලට (ශිරා සහ ධමනි) බලපාන රෝගී තත්වයක් වන අතර, ලොවපුරා සිදුවන මරන අතුරින් වැඩිම මරණ සංබ්‍යාවක් සිදුවන්නේ මෙම CVD තත්වය හේතුවෙන් බව තහවුරු වී ඇත.

මෙම රෝගී තත්වයට ගොදුරුවීමේ සහ මරණයට පත්වීම අඩු සහ මධ්‍ය ආදායම් ලබන රටවල ඉතා ඉහල ප්‍රතිශතයක් ගන්නා අතර, ප්‍රධාන කොටස් 02ක් යටතේ මේ රෝගී තත්වය හේතුවෙන් සිදුවන මරණ පිළිබඳ විග්‍රහ කරනු ලබයි.

01.කිරීටක හෘද රෝග
උදා: හෘදයාබාධ (හෘදය ආශ්‍රිතව සිදුවන මරණ වලින් 85%ක්ම සිදුවන්නේ මේ හේතුවෙනි.)

02.මස්තිෂ්ක වාහිනී රෝග
උදා: ආඝාත

මිනිස් ශරීරයේ ඇති ශක්තිමත්ම ඉන්ද්‍රිය ලෙස හදවත සලකනු ලැබූවත් පුද්ගලයන් තුළ පවත්නා විවිධාකාර කායික , මානසික සහ පාරසරික හා චර්යාත්මක හේතු සාධක මත හදවත දුර්වල වී රෝගී වීම සිදුවේ.
★ දුම්පානය
★ දියවැඩියාව
★ කොලෙස්ටරෝල්
★ සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර ලබා ගැනීම.
★ අධි රුධිර පීඩනය
★ වායු දූෂණය
★ තරබාරුකම
★ වකුගඩු රෝග
★ ව්‍යායාම මදබව
★ හානිකර මධ්‍යසාර භාවිතය

මීට අමතරව පහත හේතු සාධක හේතුවෙන් ද හෘදය ආශ්‍රිත රෝගී තත්වයන් ඇතිවන අයුරු දැකගත හැකිය.
★ ආතතිය
★ පවුල් ඉතිහාසය
★ ජනවාර්ගික පසුබිම
★ ස්ත්‍රී පුරුෂභාවය
★ වයස

ඉහත දක්වන ලද විවිධාකාර හේතුසාධක මත පදනම්ව ශරීරය පුරා ශරීරයේ සෑම කොටසකටම අත්‍යාවශ්‍ය ඔක්සිජන් සහ පෝෂ පදාර්ථ රැගෙන යන හෘද වාහීනී ක්‍රමයෙන් දුර්වල වන අතර එවිට හෘද ස්පන්දනය සමග සිරුරට අවශ්‍ය රුධිර සැපයුම නිසියාකාරව සිදුනොවේ. ශරීරයට අවශ්‍ය ඔක්සිජන් නිසියාකාරව නොලැබීම හේතුවෙන් මොලයේ ක්‍රියාකාරිත්වය අඩාල වීමත් ඒ හේතුවෙන් අභ්‍යන්තර ඉන්ද්‍රියයන් සඳහා අවශ්‍ය පණිවුඩ නිසියාකාරව නොලැබීමත් සමග පුද්ගල ශරීරය නිසි ක්‍රියාකාරිත්වයෙන් බැහැර වේ. සිහිනැති වීමක් හෝ පණ නැතිවීමක් මෙන්ම මරණයට පත්වීමක්ද මෙවැනි අවස්ථාවක සිදුවිය හැක.

එබැවින් ඔබත් අදම ඔබේ හදවතේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වන්න. හදවතට ආදරය කර ජීවිතය රැක ගන්න.