අද ඔක්තෝබර් මාසේ පළවෙනි දවස. අපි හැමෝටම මේ දවස විශේෂ වන්නේ සෑම වසරකම විවිධ තේමාවන් ඔස්සේ ඔක්තෝබර් මාසයේ පළවෙනි දවසේ ලෝක ළමා සහ වැඩිහිටි දිනය සමරන නිසාවෙන්..

කාලයෙන් කාලයට ලෝකය මුහුණ දෙන විවිධාකාර අභියෝග හමුවේ දරුවන්ගේ සුබසිද්ධිය උදෙසා ළමාදින තේමාවන් නම් කරන අතර, මෙවර ලෝක ළමාදින තේමාව වන්නේ ” A better future for every child ” වේ. එක්සත් ජාතීන් විසින් නම්කරනු ලැබූ මූලික තේමා පාඨයට අනුකූලව සෙසු කලාපීය රාජ්‍යයන් විසින් තම රටට ගැලපෙන පරිදි තේමා පාඨ නිර්මාණය කර ගන්නා අතර 2022 වසරේ ලංකාවේ ලෝක ළමාදින සැමරුම් තේමා පාඨය ලෙස ” සිනහව දකින අපේ ලොව ” හඳුන්වා දියහැක.

ආර්ථික මට්ටම, සමාජීය තරාතිරම කුමක් වූවත් දෙමාපියන්ට මේ ලොව ඇති වඩාත් වටිනාම සම්පත වශයෙන් දරුවන් හඳුන්වන අතර එම දරුවන්ගේ අනාගතය යහපත් කිරීමේ අරමුණෙන් දෙමාපියන් විවිධාකාර ක්‍රියාමාර්ග අනුගමනය කරන අයුරු අපට බහුලව දැකගත හැක. ඒ අතුරින්

★ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණෙන් නිවසින් දුරබැහැර පිහිටි ප්‍රසිද්ධ පාසලකට ඇතුලත් කර නේවාසික අධ්‍යාපනය ලබා දීමට කටයුතු කිරීම.

★ ආර්ථික මට්ටම දුර්වල අවස්ථාවන්හීදී මව්පියන් විදේශගත වීම

★ නෑදෑ හිතමිතුරන්ගේ නිවෙස්වල නතර කරවීම.
යනාදිය සුලබව දැකගත හැක. මෙවැනි ක්‍රියාකාරකම් තුළින් දරුවන්ගේ අනාගත සුබසිද්ධිය අපේක්ෂා කලද එමගින් ළමයාගේ මනසට වන බලපෑම සුළුපටු නොවේ. මන්ද කුඩා දරුවන් සෑම විටම ප්‍රිය කරනු ලබන්නේ තමාට හුරුපුරුදු පරිසරයේ තම පවුලේ සාමාජිකයන් සමග දිවි ගෙවීමටයි. එම පරිසරයෙන් ඔහුගේ කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් ඈත් කිරීම තුළින් සිදුවන්නේ ළමයා මානසික වශයෙන් මෙන්ම කායික වශයෙනුත් දුර්වල වීමයි. දරුවන් නිතරම ආදරය සොයන බැවින් මෙලෙස දෙමාපියන්ගෙන් දුරස්ව තනිව හුදෙකලාවේ ජීවත් වන විට බාහිර සමාජයේ මුණ ගැහෙන පුද්ගලයන්ගෙන් හෝ ඔවුනට අහිමි වූ ආදරය සෙනෙහස සෙවීමට උත්සාහ දරයි.

★ කුඩා වයසේදීම පෙම් සබඳතා ඇතිකර ගැනීම.

★ තමාගේ වයසට නොගැලපෙන පුද්ගලයන් ඇසුරු කිරීම.

★ ඉතා කුඩා දෙයටත් කෝපයට පත්වීම.

★ මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවීම.

★ මානසික අවපීඩනය වැනි රෝගාබාධ වලට ගොදුරු වීම.

★ අධ්‍යාපනය කෙරෙහි ඇති නැඹුරුතාව අවම වීම.

යනාදිය මෙලෙස මානසික වශයෙන් හුදෙකලා වූ දරුවන් අතර සුලබව දැකගත හැක.

එබැවින් ඔබත් ඔබේ දරුවාගේ අනාගතය වඩාත් යහපත් සහ සාර්ථකවනු දැකීමට කැමතිනම් හැකිතාක් දරුවන් සමග සහයෝගයෙන් සහ සමීපව කටයුතු කරන්න. මන්ද ඔබේ දරුවාට අවශ්‍ය ඔබේ ආදරය සහ අවදානය පමණක්ම බැවිනි. දරුවාගේ සතුට සිනහව රැදී පවතින්නේ ඔබ ඔබේ දරුවා වෙනුවෙන් වෙන්කරන කාලය මතයි. දෙමාපියන් වශයෙන් ඔබට ඇති වටිනාම සම්පතෙහි අනාගතය තීරණය වන්නේ ඔබ අද ගනු ලබන තීරණ මත බව පමණක් ඔබ මේ ලෝක ළමා දිනය දා ඔබ මතක තබා ගන්න.

ලෝක වැඩිහිටි දිනයද අද දවසට යෙදී ඇති අතර ක්‍රමයෙන් වයසට යන ඔබේ නිරෝගී බව මෙම කාලයේදී ඔබට ලැබිය හැකි ඉහළම ධනයයි. ඔබේ නිරෝගී බව රැක ගැනීම උදෙසා

★ ව්‍යායාම වල නිරත වීම.

★ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වීම.

★ සෞඛ්‍යාරක්ෂක පෝෂණීය ගුණයෙන් යුතු ආහාර අනුභවය.

★ මානසික සුවය ආරක්ෂා වන ක්‍රියාකාරකම් වල නිරත වීම.

★ සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු මුණ ගැසී වෛද්‍ය පරීක්ෂාවන් සිදු කර ගැනීම.

මේ ආකාරයෙන් ඔබ ඔබේ නිරෝගී බව රැක ගැනීම තුළින් ඔබේත් ඔබේ ආදරණීයන්ගේත් කාලය ශ්‍රමය සහ මුදල් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙන අතර ඒ හරහා පවුල් සංස්ථාව තුළ සමගිය සතුට වර්ධනය වේ.

ඉදිරි අනාගතය බාර ගනිමින් යහපත්ව පිපෙන්නට වෙර දරන පුංචි දරුවන්ට සහ ඔවුනට යහපත් ලොවක් ගොඩනැගීමට වගකීම් කරට ගෙන දහඩිය මහන්සියෙන් කටයුතු කරන දිරිය මව්වරුන්ට සහ පියවරුන්ට මෙන්ම තම තරුණ කාලය දරුවන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් වැයකර ජීවිතේ සැදෑ සමය ගෙවනා වැඩිහිටියන්ටද අදට යෙදී ඇති ජාත්‍යන්තර ළමා දිනයේ සහ ජාත්‍යන්තර වැඩිහිටි දිනයේදී උපහාරයක්ම වේවා ..!.