ලෝක සෞඛ්‍යය සංවිධානය පවසන ආකාරයට සංවර්ධනය වූ සහ සංවර්ධනය වෙමින් පවත්නා රටවල පොදුවේ දැකගත හැකි තත්වයක් වනුයේ පිළිකා රෝගයට ගොදුරු වූ බහුතරයක් කාන්තාවෝ පියයුරු පිළිකා තත්වයෙන් පීඩා විදින විදින බවයි. මෙය කාන්තාවන් අතර සුලබ පිළිකා තත්වයක් වුවද පියයුරු පිළිකාවන්ට ගොදුරු වූ පුරුෂයන් ද අපට දැකගත හැකියි. නමුත් මේ රෝගී තත්වය සම්බන්ධයෙන් පුරුෂයන් අතර පවතින්නේ ඉතාමත් අල්ප වූ දැනුමක්.

අප අද දින පියයුරු පිලිකාව වැළදීමේ අවදානමක් ඇති පුද්ගල කාණ්ඩ, රෝග ලක්ෂණ සහ පියයුරු පිළිකාවෙන් ඔබේ වටිනා ජීවිතය ආරක්ෂා කර ගැනීමට අනුගමනය කලහැකි ක්‍රියාමාර්ග කවරේද යන්න පිළිබඳ දැනුවත් කිරීමට අපේක්ෂා කරනු ලබනවා.

පිළිකා රෝගයට ගොදුරු වීමේ අවදානම එක හා සමාන වූවත් පියයුරු පිළිකාව වැළඳීමෙන් අනතුරුව සුවය ලැබීමට පවතින හැකියාව රටින් රටට වෙනස් වන අතර ඒ සඳහා මූලිකවම බලපානු ලබන්නේ පූර්ව රෝග ලක්ෂණ හඳුනා ගැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක වීම රටින් රටට වෙනස් වීමයි.

පියයුරු පිළිකාවක් ප්‍රධාන කොටස් 02ක් යටතේ විස්තර කිරීමේ හැකියාව පවතී.

  1. ප්‍රාථමික පියයුරු පිළිකාව.

පිළිකාව මුලින්ම පියයුරු වල ඇති වී තිබේ නම් එය ප්‍රාථමික පියයුරු පිළිකාවකි. බොහෝ අවස්ථාවලදී මෙම පිළිකා තත්වය සඳහා ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව නැවත පිළිකා තත්වයක් ඇති නොවන බව ජාතික පිළිකා ආයතනය විසින් පෙන්වා දෙයි.

නමුත් ඇතැම් කාන්තාවන්ගේ පිළිකා සෛල, ප්‍රාථමික පිළිකාවලින් වෙන්වී ගොස් රුධිර ප්‍රවාහය හෝ වසාවාහි පද්ධතිය මගින් ශරීරයෙ සෙසු කොටස් වලට පැතිර යාමේ අවදානම ඇත.

  1. ද්වීතික පියයුරු පිළිකාව

ශරීරයේ වෙනත් තැනක ඇති වූ පිළිකා තත්වය පියයුරු දක්වා පැතිරී ඇත්නම් එය ද්වීතික පියයුරු පිළිකාවකි.

පියයුරු පිළිකා වැළදීමට බලපාන හේතුසාධක
ඕනෑම වයසක කාන්තාවක් පියයුරු පිළිකාවට ගොදුරු වීමට හැකියාව ඇතත් වයස අවුරුදු 40ට වැඩි කාන්තාවන් මෙම රෝගයට ගොදුරු වීමේ වැඩි අවධානමක් තියනවා. මෙම රෝගයට නිශ්චිත හේතුවක් තවම තහවුරු කර නැතත් පහත හේතුන් මෙම රෝගී තත්වයට හේතු සාධක වන බව පැහැදිලි වී ඇත.

• පවුල් පසුබිම හා ජානමය බලපෑම.

• වයස අවුරුදු 12ට පෙර ප්‍රථම ඔසප් වීම සිදු වීම.

• වයස අවුරුදු 55තෙක් ආර්තවහරණය සිදු නොවීම.

• අවුරුද්දකට අඩු කාලයක් මවු කිරි ලබා දීම.

• අධික තරබාරුව.

• අධික මත්ද්‍රව්‍ය භාවිතය හා දුම් පානය.

• උපත් පාලන ගිලින පෙති භාවිතය.

• දරු පල නොමැති වීම.

• ප්‍රථම දරු උපත වයස අවුරුදු 30 පසුවී සිදු වීම.

• ශාරීරික ව්‍යායාම් අඩු වීම.

ඉහත දක්වන ලද හේතු සාධක එකක් හෝ කිහිපයක් ඔබ තුළත් පවතීනම් ඔබ ඔබේ සෞඛ්‍ය තත්වය පිළිබඳ නිසි අවදානයක් යොමු කිරීම ඉතා වැදගත්ය.

රෝග ලක්ෂණ

එමෙන්ම පියයුරු පිළිකාවට ගොදුරු වූ කාන්තාවන් සහ පුරුෂයන් අතර පහත රෝග ලක්ෂණ දැකගත හැකිය.

✡ කාන්තාවන් අතර දැකගත හැකි රෝග ලක්ෂණ

• පියයුරු ආශ්‍රිත සම ඝන වීම

• සම මතුපිට වළ ගැසීම

• තන පුඩුව මත කුෂ්ඨ ඇතිවීම

• තන පුඩුවෙන් දියරයක් ගැලීම

• අසීරුවක් හෝ වේදනාවක් දැනීම

• තන පුඩුව ඇතුළට ගිලී යාම

• නහර මතු වීම

• ඉදිමීම

• සැරව සහිත තුවාල ඇතිවීම

• සම දොඩම් ලෙල්ලක ස්වරූපය ගැනීම

• පියයුරු වල ප්‍රමාණයෙ හෝ හැඩය වෙනස්වීම

• තද ගැටිති

✡ පුරුෂයන් අතර දැකගත හැකි රෝග ලක්ෂණ

• තන පුඩුව යට හෝ අන්තරාලයෙ ඇති වන වේදනා රහිත ගැටිති

• පියයුරු වල ප්‍රමාණය හෝ හැඩය වෙනස්වීම

• යටිකුරු වූ තන පුඩු

• තන පුඩුවේ කුෂ්ඨ ඇතිවීම

• තන පුඩුවෙන් රුධිරය වහනය වීම

• කිහිල්ල ඉදිමීම හෝ ගැටිති ඇතිවීම

• තන පුඩුව වටා තුවාලයක් හට ගැනීම

ඔබ කාන්තාවක් වූවත් පුරුෂයකු වූවත් ඉහත කී රෝග ලක්ෂණ ඇත්නම් වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු මුණගැසී අදාල පරීක්ෂණ සිදුකර ගැනීමට කටයුතු කිරීමෙන් පිළිකාව මූලික අවදියේම හඳුනා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

★ පියයුරු පිළිකාවෙන් ආරක්ෂා වෙන්න ඔබට කළහැකි දේ…

පියයුරු පිළිකාවක් මුල් අවදියේදීම හඳුනා ගැනීමට ඔබට නිවසේ සිටම සිදුකළ හැකි සරල ක්‍රියාකාරකමක් තමයි මසකට වරක් ස්වයං පියයුරු පරීක්ෂාවක් සිදුකර ගැනීම.

ඊට අමතරව ඔබ වයස අවුරුදු 40ට වැඩි කාන්තාවක් නම් මැමෝග්‍රෑම් පරීක්ෂාවක් සිදු කිරීමෙන්ද පිළිකා රෝගී අවදානමක් ඇත්නම් මූලික අවදියේදීම හඳුනා ගැනීමට හැකියාව ඇත.

මූලික අවදියේදීම හඳුනාගෙන නිසි ප්‍රතිකාර වලට යොමුවුවහොත් පියයුරු පිළිකාව නිට්ටාවටම සුව කර ගැනීමේ හැකියාව ඇති බැවින් ඔබත් ඔබේ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ වැඩි අවදානයක් යොමු කරන්න. පිළිකා රෝගයට ඔබව ගොදුරු කර ගැනීමට හෝ අඩපණ කිරීමට ඉඩ ලබා නොදෙන්න.